ශ්‍රී ලංකාවට ජී.එස්.පී දීම ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයක්


( තිළිණි ද  සිල්වා )

ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් ලබන 31 වැනිදා බ‍්‍රසල්ස් හි යුරෝපා පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාදයක් පැවැත්වෙනු ඇතැයි බ‍්‍රසල්ස් තානාපති ආරංචි මාර්ග පවසයි.

බි‍්‍රතාන්‍යය මුලික කර ගත් ගෝලීය ද්‍රවිඩ සංවිධානය ,දෙමළ පුනරුත්ථාපන සංවිධානය ආදී යුරෝපා දෙමල ඩයස්පෝරා සංවිධාන විසින් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම විවාදය පැවැත්වෙනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් නිසි පරිදි ලබා නොදී ඇති අවස්ථාවක ඉකුත් මැයි 19 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම බදු සහනය ශ්‍රී ලංකාවට යළි ලබා දීම සම්බන්ධයෙන් යුරෝපය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරා ප‍්‍රජාවගෙන් සෑදුණු විවිධ දේශපාලන හා සිවිල් සංවිධාන කිහිපයක් ඉකුත් දා යුරෝපා පාර්ලිමේන්තුවට සහ යුරෝපා සංගමයේ වෙළඳ කටයුතු පිළිබඳ කොමසාරිස්ට සිය විරෝධය ලිඛිතව ඉදිරිපත් කර තිබිණි.

 

මේ අතර එදිනම එම විවාදය අතරතුරදී තහනම් කරනු ලැබ තිබූ ජී.එස්.පී.බදු සහනය යළිත් ලංකාවට ලබා දීම යුරෝපා සංගමය තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ වෙළඳ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා යුරෝපා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.