බලයට පැමිණ වසර වසර දෙකක් ගතවන විට ශ්‍රී ලංකා රජයේ වැඩ පිළිබඳ ප්‍රශංසනීය තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළු මූලික වෙනස්කම් කිරීමට කැපවීමක් කර ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර සබඳතා අලුත් වී ඇති බවත් තානාපති තුංලායි මාග් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
හෙටට (9) යෙදෙන යුරෝපා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් තානාපති තුංලායි මාග් මහතා ඒ බව සඳහන් කළේය.
“ වසර දෙකකට පෙර, මූලික වෙනස්කම් කිරීමට කැපවීමක් සහ දැක්මක් ඇති රජයක් තේරී පත්වුණා. ඒ නිසා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සබඳතා යළිත් අලුත් වුණා. අද ශ්‍රී ලංකා රජය ප්‍රශංසනීය තත්ත්වයකට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර නීතිවලටත් නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමත් කෙරෙහි වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු අයිතීන් සහ පාරිසරික වගකීම් පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාව ලබාදෙන්නැයි නිර්දේශ කිරීමට යුරෝපා සංගමය ඉදිරිපත් වුණා” යැයි ද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා වෙනුවෙන් කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
“ යුරෝපා සංගමය, යුරෝපා දිනය සමරනු ලබන්නේ මැයි මස 9 වන දාය. 1950දී ප්‍රංශයේ විදේශ කටයුතු ඇමති වශයෙන් සිටි රෝබට් ෂූමන් මහතා විසින් එකමුතුකම ආරක්ෂා කරන ලැදියාවන් සහ අගයන් සහිත ප්‍රජාවකින් සමන්විත වූ ජාතීන් පිළිබඳ දැක්මක් සහිත ප්‍රකාශයක් සිදු කිරීම මෙදින සමරනු ලැබේ. සාමාජික රටවල් 28කට අයත් මිලියන 500 කට අධික ජනතාවක් සිටින ලොව විශාලතම ආර්ථිකය හිමි එකම මූලික නිදහසක් සහ අයිතීන් පිළිබඳ සහතිකයක් සහිතව ජීවත් වන යුරෝපා සංගමය පිහිටුවීමට පදනම වූයේ මෙම ෂූමන් ප්‍රකාශයයි.

