( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා රජය සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජය අතර සංක්‍රමණික හවුල්කාරීත්වයක් පිළිබඳ නව අවබෝධතා ගිවිසුමකට එලැඹි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම මගින් දෙරටටම වාසිදායක, සංක්‍රමණය පිළිබඳ විධිමත් ක්‍රියාදාමයක් පිහිටුවීමට ඉඩකඩ සැලසෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාද ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලය වෙනුවෙන් ෆෙඩරල් මන්ත්‍රණ සභික සිමොනෙත්තා සොම්මරුගා මහත්මියද මෙම අවබෝධතා ගිවිසුම් සදහා අත්සන් තැබීය.
ඒ අනුව අත්සන් තැබූ ගිවිසුම මගින් සංක්‍රමණික ප්‍රවාහන කළමනාකරණය , අවිධිමත් සංක්‍රමණය වැලැක්වීම , පුරවැසියන්, රටක් නැති පුද්ගලයන් සහ තුන්වැනි රාජ්‍යයක පුරවැසියන් යළි භාරගැනීම, සංක්‍රමණිකයන්ට පෙරළා සිය රට යෑමට සහය ලබාදීම හා යළි සමාජගත කිරීම, සංක්‍රමණය පාලනය කිරීම , මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කිරීම , වීසා ගැටලු, කොන්සියුලර් කටයුතු සහ අදාළ පරිපාලනමය කටයුතු, වෘත්තීය පුහුණව ලබා දීම සම්බන්ධයෙන් වන දෙරට අතර තාක්ෂණික සහාය ලබා ගැනීම සිදු කෙරේ.
තවද ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා ආරක්ෂාකාරී හා විධිමත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම , විදෙස්ගත ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ආයෝජන සඳහා ඉඩ පහසුකම් සැලසීම , සහ නීතියේ ආධිපත්‍යය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති සදහා ස්විට්සර්ලන්තය සහාය ලැබේ.