ශ්‍රී ලංකාව ලොව 114 වැනි තැනට


ලෝකයේ වඩාත් සාමකාමී රට අයිස්ලන්තය බව 2015 ආර්ථික සහ සාමය පිළිබඳ ලාභ නොලබන ආයතනය පවසයි. අයිස්ලන්තය උතුරු අත්ලන්තික් සාගරයේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි දිවයිනකි.

එම ආයතනය මගින් 2015 වර්ෂය සඳහා සම්පාදනය කැර ඇති වාර්තාවක් උපුටා දක්වන සීඑන්එන් පුත් සේවය පවසන්නේ ලෝකයේ රටවල් 162ක් එහිදී ඇගයීමට ලක්කැර ඇති බවයි.

සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට ලොව 114 වැනි තැන හිමිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සාමාන්‍ය තරමේ සාමකාමී රටක් ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව මේ ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය 2014 සමීක්ෂණයට වඩා ලකුණු 0.073ක් එක්කැර ගනිමිනි. එසේ වුව ද ශ්‍රී ලංකාව පසුගිය 2014 සිටි 105 වැනි ස්ථානයෙන් පියවර නමයක් පසුපසට පැමිණ ඇත්තේ අනෙක් රටවල් ශ්‍රී ලංකාවට වඩා සාමකාමී තත්ත්වයට පත්වීම හේතුවෙනි. ඒ ඒ රටවල ප්‍රචණ්ඩත්වය, අපරාධ, ගැටුම්වලට මැදිවීම සහ හමුදාව යෙදවීමේ තත්ත්වය ගැන දත්ත් උපයෝගී කරගනිමින් අදාල වාර්තාව සකස් කරයි.

අදාල දත්ත අනුව ලොව වඩාත් සාමකාමී රටවල් 10 අතරින් හයක් යුරෝපා රටවල්ය. සාමය වඩාත් වේගයෙන් පිරිහීගිය රට ලෙස හඳුන්වා ඇත්තේ සිරියාවයි.

මේ ලේඛණයේ ඇමෙරිකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි.

දකුණු ආසියා කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයට පත්ව සිටියි. ලෝකයේ සාමකාමි රටවල් අතර 18 වැනි ස්ථානයේ සිටින භූතානය දකුණු ආසියාවේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර නේපාලය දෙවැනි තැනටත්, බංග්ලාදේශය තුන්වැනි තැනටත් පත්ව සිටියි. දකුණු ආසියාවේ පස්වැනි තැන සිටින ඉන්දියාව ලෝකයේ 143 තැන සිටියි. පකිස්ථානය ලොව 154 වැනි ස්ථානයත් දකුණු ආසියාවේ හයවැනි තැනත් ලබා සිටින අතර දකුණු ආසියානු රටවල් අතර අවසන් ස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථානය ලෝකයේ 160 වැනි ස්ථානයට පත්ව සිටින්නේ ඉරාකයටත් සිරියාවටත් පමණක් ඉදිරියෙන් සිටිමිනි.