ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට


(යොහාන් භාසුර, මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ සිට...)

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (2) ඉවත්වීමට සිදුවිය.

තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල සත්කාරක ඉන්දියාව හමුවේ ලකුණු 302 ක දැවැන්ත පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හතෙන් තරග තරඟ 5 ක් පරාජයට පත්වීම නිසා බංග්ලාදේශය සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ඉදිරි තරග දෙකෙන් ජය ලැබුවද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව නොමැත.

ජයග්‍රහණය සඳහා ලකුණු 358 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ඕවර 19.4 කදී ලකුණු 55 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම ලකුණු 55 ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියකදී ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාව 1975 ලෝක කුසලාන තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 86 කට දැවීයාම මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

පැතුම් නිස්සංක (0), දිමුත් කරුණාරත්න (0), කුසල් පෙරේරා (1), සදීර සමරවික්‍රම (0), චරිත් අසලංක (1) යන ඉදිරිපෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 2 ක් පමණක් රැස්කළ අතර අංක හය පිතිකරු  ඇන්ජලෝ මැතිව්ස් (12) පමණක් ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය. 

දුෂාන් හේමන්ත (0), දුෂ්මන්ත චමීර (0), මහීෂ් තීක්ෂණ (නොදැවී 12), කසුන් රාජිත (14) සහ ඩිල්ෂාන් මධුසංඛ (5) යන මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවෝ ද ඉන් අනතුරුව අසරණ වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිමේ පළමු පන්දුවේ සිට ඉන්දීය වේග පන්දු යවන්නන් හමුවේ දැඩිව අසරණ වූහ.

ඉන්දීය පිල ඕවර 50 දී කඩුලු 8 ක් දැවී 357

(ෂුබ්මන් ගිල් 92, විරාට් කෝලි 88, කේ. එල්. රාහුල් 21, ශියාස් අයිර් 82, රවීන්ද්‍ර ජඩේජා 35, ඩිල්ෂාන් මධුසංඛ 80/5)
ශ්‍රී ලංකා පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 55

(ඇන්ජලෝ මැතිව්ස් 12, මහීෂ් තීක්ෂණ නොදැවී 12,  කසුන් රාජිත 14, මොහොමඩ් සිරාජ් 16/3,  මොහොමඩ් ශමි 18/5)