ශ්‍රී ලංකාව කැටලෝනියාවේ වෙනම රාජ්‍යය හෙළාදකී


කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් ඒක පාර්ශ්විකව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම හෙළාදකින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (28 වැනිදා) ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය දීර්ඝ කාලයක් තිස්සේ යහපත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ විතරක් නොවේ, ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ වැදගත් සාමාජිකයකු වශයෙන්ද සලකනු ලබනවා” යයි විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයෙන් කියැවේ.
 
“ශ්‍රී ලංකාවේ රජය කිසිදු සැක සංකාවකින් තොරවම ස්පාඤ්ඤ රාජධානියේ ස්වෛරීභාවයත් අවංකත්වයත් වෙනුවෙන් සහයෝගය දක්වයි. එසේම කැටලෝනියාව ස්පාඤ්ඤයේ වැදගත් කොටසක් ලෙසත් සලකනු ලබයි.”

“ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාව සහ නීතිරීති මාලාව අනුව එක්සත් ස්පාඤ්ඤයක් වෙනුවෙන්, දෙපාර්ශ්වය අතර සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙසත් ශ්‍රී ලංකාව ආයාචනා කරයි” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය දැඩි පියවර කිහිපයක්ම ගෙන තිබේ.

කැටලෝනියානු පාර්ලිමේන්තු තීරණය සහමුලින්ම නිෂ්ප්‍රභා කරමින් එහි සභාපතිවරයා, උප සභාපතිවරයා මෙන්ම සියලුම මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු සභිකයන් නෙරපා දැමූ ස්පාඤ්ඤ රජය කැටලෝනියාවේ පාලනය සියතට ගනිමින් දෙසැම්බර් මස 21 වැනිදා ඡන්දයක් පැවැත්වීමටද තීරණය කර තිබේ. කැටලෝනියාවේ පොලිස්පතිවරයා තනතුරෙන් පහකර දැමීමටද මැඞ්රිඞ් (ස්පාඤ්ඤයේ අගනුවර) පාලනය අද (සෙනසුරාදා) පියවර ගත්තේය.

ස්පාඤ්ඤ අගමැති මර්ජානෝ රසෝයි මහතා විසින් කැටලෝනියානු පාර්ලිමේන්තුවේ මෙම ක්‍රියාව හඳුන්වනු ලබන්නේ “අකීකරුකම ඉහවහායාමක්” ලෙසිනි.