ශ්‍රී ලංකාව ඔටෝවා ප්‍රඥප්තිය ක්‍රියාවට නංවයි


හර්ෂණ තුෂාර සිල්වා
 
බිම්බෝම්බ වලින් තෝර ලෝකයක් සඳහා 1997 වසරේදී අත්සන් තබන ලද ඔටෝවා ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර තිබේ.
 
මේ අනුව 2017 දෙසැම්බර් 13 දාතම යටතේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ වලින් තොර ලෝකයක් සඳහා අත්සන් තබන ලද ‘ඔටෝවා ප්‍රඥප්තිය’ පිළිගෙන එහි ඒ අනුව කටයුතු කිරීමට එකඟ වී තිබෙන අතර ලබන වසරේ ජූනි 1 වැනිදා සිට එහි වගන්ති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවෙනු ඇත. 
 
ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්ත ප්‍රඥප්තිය ක්‍රියාවට එකඟත්වය පළ කරන ලද 163 වැනි  පූර්ණ රාජ්‍යය වනු ඇත.
 
මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව ද අනෙකුත් රටවල් 162 මෙන් බිම්බෝමබ නිෂ්පාදනයෙන් වැළැකී සිටීම බිම්බෝම්බ භාවිතයෙන් වැළැකී සිටීම බිම්බෝම්බ විනාශ කර දැමීම යනාදි අදාළ ප්‍රඥප්තියේ වගන්ති ඉටු කිරීමට බැඳී සිටියි. 
 
බිම්බෝම්බ සම්බන්ධයෙන් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘ලෑන්ඩ්මයින් මොනිටර්” වාර්තාවට අනුව පසුගිය වසරේදී පමණක් ලොව පුරා බිම්බෝම්බවලට හසු වී මියගිය සංඛ්‍යාව 8,605කි.
 
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛව ලොව රටවල් සහ සංවිධාන රැසක් වසර 2025 වනවිට ලෝකය බිම්බෝම්බවලින් තොර තැනක් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. 
 
ඡායාරූපය රොයිටර්