(විනීතා එම් ගමගේ)
වෙසක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප‍්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙන යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
බස්නාහිර හා දකුණේ පමණක් ක‍්‍රීයාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක‍්‍රීයාත්මක කරන බවටත් වතුකරයේ නව නිවාස 10,000 ක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක් දැයි උදය ගම්මන්පිල මහතා විමසා සිටියේය.
දික්ඔය දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ඉන්දීය අගමැතිවරයා ජනතාව ඇමතුයේ ඉන්දියාවේ 30 වැනි ප‍්‍රාන්තයේ ජනතාව අමතන අයුරින් බවත් දකුණු පසින් ලංකා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරයාද වම්පසින් එහි මහ ඇමතිවරයා ද සිටින බව සිතමින් ඔහු ජනතාව ඇමතූ බව පෙනී ගියේ යැයි ද ගම්මන්පිල මහතා කීවේය. මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

