ශ්‍රී ලංකාව - චීන තායිපේ ලෝකඩ පදක්කමට සටනේ


තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශ පිල ගෝල 5-3 ක ජයක් ලැබීය. තරගාවලියේ අවසන් දිනය වන අද  (24) ශ්‍රී ලංකා පිල ලෝකඩ පදක්කම සඳහා චීන තායිපේ පිලට එරෙහිව තරග වදියි. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව 2013 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන හොකී තරගාවලියට සහභාගිවීමේ වරම් ද හිමිකර ගත්තේය. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තියුණු තරගයක්ව පැවැති අවසන් පුර්ව තරගයේ පළමු අර්ධය ගෝල 2-2 ක් ලෙස දෙපිලම සමවිය. ආසන්නතම ශූරයන් වන බංග්ලාදේශය දෙවැනි අර්ධයේදී තවත් ගෝල තුනක් ලබා තරගය ජය ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක මොහොමඞ් මුලාෆර් මෙම තරගයේද ගෝල දෙකක් ලබාගත් අතර ඔහු මේ වන ගෝල හතක් ලබා සිටියි. ඞී. බී. දිසානායක තුන්වැනි ගෝලය ලබා ගත්තේය.  ඕමානය සහ චීන තායිපේ පිල අතර පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන්  ඕමානය ගෝල 2-1 ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.