ශ්‍රී ලංකා වෙළෙඳ සේවා හොකී පිලට එරෙහිව චෙන්නායි නුවරදී විරෝධතා


ඉන්දියාවේ චෙන්නායි නුවරදී හොකී තරගයකට සහභාගිවෙමින් සිටි ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී කණ්ඩායමට එරෙහිව කිසියම් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී විරෝධතා දැක්වීම නිසා තරගය අත්හිටුවමින් ඔවුන් රැකවරණ මැද ක‍්‍රීඩාංගණයෙන් ඉවත් කරගෙන ගිය බව වාර්තාවේ. විරෝධතා දැක් වු මේ පිරිස කොටි හිතවාදීන් යැයිද වාර්තාවේ. ඉන්දීය තමිල්නාඩු හොකී සංගමයේ ආරාධනාවකට අනුව මෙම තරග සංචාරයට සහභාගි වු ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී සංගම් පිල එහිදී බැංගලෝර්, මයිසූරි සහ චෙන්නායි යන ප‍්‍රදේශවල කණ්ඩායම්වලට එරෙහිව මෙම තරග සංචාරයේදී තරග කිරීමට නියමිතව සිටියේය. සංචාරක ශ්‍රී ලංකා වෙළඳසේවා පිල, චෙන්නායි ප‍්‍රවීණයන්ගේ පිල සහ කර්නාටක ක‍්‍රීඩා පුහුණු ඇකඩමි පිල ඇතුළු කණ්ඩායම් කිහිපයකට එරෙහිව එහිදී ජයග‍්‍රහණ ලබා ගැනීමට සමත්විය. චෙන්නායි නුවරදී සදර්න් රේල්වේ ඉංජිනියරින් පිලට එරෙහිව පැවැත්වීමට තිබු තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබියදී ත‍්‍රස්තවාදී සංවිධානයක කොඩියක් රැගත් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට විරුද්ධව හඬ නැඟූ බව වෙළෙඳ සේවා හොකී සංගමයේ සභාපති හා සංචාරක ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ රත්නසිරි මහගලඇල්ල මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ‘‘තරගය නරඹමින් සිටි පිරිසක් ක‍්‍රීඩාංගණය තුළට එනවා දුටුවා. ඔවුන් කොටි ලාංඡනය සහිත කොඩියක් රැගෙනයි පැමිණියේ. ඔවුන් පැමිණි විගසම පොලිසිය පැමිණියා. අපට ඒ මොහොතේ සිට ලංකාවට පැමිණෙන තෙක්ම ආරක්‍ෂාව ලබාදීමටත් පොලිසිය කටයුතු කළා යැයි ද’’ මහගලඇල්ල මහතා පැවසීය. යළි තරගය පැවැත්වීමට සංවිධායකයන් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලීමක් කළද ක‍්‍රීඩකයන් තරගයට සහභාගිවීමට තරම් හොඳ මානසිකත්වයකින් නොසිටි බවද මහගලඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.