ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානය (ජී.ඒ.එන්.එච්.ආර්.අයි) ඉකුත් දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ‘ඒ’ ශ්‍රේණියට උසස් කර තිබේ.
මෙම ගෝලීය සන්ධානය රට රටවල ජාතික මානව හිමිකම් ආයතනවල එකතුවක් වන අතර ජාතික මානව හිමිකම් ආයතන 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී සම්මත වූ ‘පැරිස් මූලධර්ම’වලට අනුව කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම ‘ජාතික මානව හිමිකම් ආයතන සඳහා වූ ගෝලීය සන්ධානයේ ප්‍රධාන කාර්යභාරය වේ.
නීති හා රීති කටයුතුවලදී ජාතික මානව හිමිකම් ආයතනවලට දේශපාලන නිදහස තිබේද යන්න ‘පැරිස් මූලධර්ම’වලට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න විමසා බැලෙන ප්‍රධාන අවශ්‍යතාවයකි.
ජාතික මානව හිමිකම් ආයතන සඳහා සාමාජිකයන් තෝරාගැනීම සහ පත් කිරීම, සාමාජිකයන් ඉවත් කිරීම යනාදියේදී දේශපාලන බලපෑම් සිදුවනවාද එම කටයුතු සඳහා දේශපාලන නිදහස තිබෙනවාද යන්න මෙහිදි විමසා බැලේ. ඊට අමතරව ජාතික මානව හිමිකම් ආයතන සමාජය තුළ විවිධත්වය නිරූපණය කළ යුතු අතර ඊට ඇති පුළුල් වරම ඔස්සේ ජාත්‍යන්තර පිළිගත් මානව හිමිකම් ආරක්ෂා කිරීම, පරීක්ෂණ කිරීම සඳහා ප්‍රමාණවත් බලය සහ ප්‍රමාණවත් සම්පත් තිබේද යන ඒවාද ‘ඒ’ ශ්‍රේණියට උසස් කිරීමේදී සලකා බැලේ.
මේ වසරේ ජනවාරි මාසයේදී රට රටවල ජාතික මානව හිමිකම් ආයතන 120ක් විමර්ශනයට ලක්වූ අතර ඉන් ‘ඒ’ ශ්‍රේණියට උසස් වූයේ ජාතික මානව හිමිකම් ආයතන 77ක් පමණි. ශ්‍රී ලංකාවට අමතරව ‘ඒ’ ශ්‍රේණියට උසස් වූ අනෙක් දකුණු ආසියානු රටවල් වනුයේ ඉන්දියාව සහ නේපාලයයි. එමෙන්ම ආසියා ශාන්තකර කලාපයේ රටවල් 15ක ජාතික මානව හිමිකම් ආයතන ‘ඒ’ ශ්‍රේණියට උසස් වී තිබේ.
නව මානව හිමිකම් කොමිෂන් සභාව පත්වී කර වසර දෙකහාමාරක් ඇතුළත ‘ඒ’ ශ්‍රේණියට උසස් වීමට ලැබීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පමණක් නොව ශ්‍රී ලංකා ජනතාව ද ලැබූ ජයග්‍රහණයක් යැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය බව ඉල්ලූ ජනතාව ලැබූ ජයග්‍රහණයක් යැයි එම කොමිෂන් සභාව කියයි. ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.