
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හෙට (20) පැවැත්වෙන අතර එහිදී නව කතානායකවරයෙකු තෝරා පත්කරගැනීමට නියමිතය.
ඒ අනුව හෙට දින (20) පත් කර ගනුයේ 1978 ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමෙන් පසුව තෝරාගනු ලබන එකොළොස්වැනි කතානායකවරයාය.
මෙම තනතුර ආණ්ඩු පක්ෂයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
1978 දී ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීමෙන් පසු ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී,ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ය. ඔහු 1978 සැප්තැම්බර් 07 සිට සැප්තැම්බර් 13 වැනි දින තෙක් කතානායක ධූරය හෙබවීය.
ඔහුගෙන් පසුව එම්.ඒ. බාකීර් මාකර් මහතා1978 සැප්තැම්බර් 21 සිට 1983 අගෝස්තු මස 30 දින තෙක් කතානායකධූරයේ කටයුතු කළේය.
1983 සැප්තැම්බර් 06 වන දින සිට 1988 දෙසැම්බර් 20 දක්වා ඊ.එල් සේනානායක මහතා ධූරය හොබවා ඇත.
ශ්‍රී ලංකා දෙවන පාර්ලිමේන්තුවේදී එම්.එච්. මොහොමඩ් මහතා 1989 මාර්තු 09 සිට 1994 ජූනි 24 දක්වා කතානායකවරයා ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ තෙවෙනි පාර්ලිමේන්තුවේ දී මෙරට පස්වැනි කථානායකවරයා ලෙස තෝරාගැනුණේ කේ.බී.රත්නායක මහතා වන අතර ඔහු 1994 අගෝස්තු 25 සිට 2000 අගෝස්තු 18 දක්වාත් නැවත 2000 සැප්තැම්බර් 14 සිට එම වසරේ ඔක්තෝබර් 10 දක්වාත් එම ධූරයේ කටයුතු කර ඇත.
අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා සිව්වන පාර්ලිමේන්තුවේ දී මෙරට සයවෙනි කතානායක ලෙස 2000 ඔක්තෝම්බර් 18 සිට 2001 ඔක්තෝබර් 10 දක්වා කටයුතු කළ අතර ඉන්පසුව ශ්‍රී ලංකා පස්වන පාර්ලිමේන්තුවේ දී හත්වැනි කතානායකවරයා ලෙස පත් වූයේ ජෝශප් මයිකල් පෙරේරා මහතාය. ඔහු 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 07 දක්වා එම ධූරයෙහි කටයුතුකරනු ලැබීය.
ශ්‍රී ලංකා හයවන පාර්ලිමේන්තුවේ දී මෙරට අටවැනි කතානායකවරයා ලෙස වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා වූ අතර එවර රහස් ඡන්ද විමසීම වට තුනක් දක්වා ඇදීගිය අතර එය පාර්ලිමේන්තු ඉතිහාසයේ දීර්ඝතම කාලයක් වැය කළ කතානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම ලෙස සැලකේ. 2004 අප්‍රේල් මස 22 සිට 2010 පෙබරවාරි 09 දක්වා ද, 2010 මාර්තු මස 09 වැනි දින සිට අප්‍රේල් මස 20 දක්වා ද හෙතෙම එම ධූරය හෙබවීය.
චමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නවවැනි කතානායකවරයා ලෙස හත්වැනි පාර්ලිමේන්තුවේ දී කටයුතු කර ඇත.2010අප්‍රේල් 22 සිට 2015 ජූනි 26 දක්වා දිගු කලක් හෙතෙම කතානායක ධූරය දැරුවේය.
අටවන පාර්ලිමේන්තුවේ දී මෙරට දස වැනි කතානායකවරයා ලෙස පත්වූයේ කරු ජයසූරිය මහතාය. හෙතෙම 2015 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2020 මහා මැතිවරණය නිමව, අටවැනි පාර්ලිමේන්තුව නිමවන තෙක්ම එම ධූරය හෙබවීය.

