ශ්‍රී ලංකා ටෙනිස් ක‍්‍රීඩිකා නෙත්මි වියට්නාමයේදී පදක්කම් 4 ක් දිනයි


වියට්නාමයේ පැවැති අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ සංවර්ධන ටෙනිස් තරගමාලාවේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුවාය. තරගාවලි දෙකකින් පැවැති මෙම තරගමාලාවේ ක‍්‍රීඩිකාවන් අතරින් නෙත්මි දෙවැනි ස්ථානය දිනා ගත්තාය. නෙත්මි පළමු තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තාය. ඇය අවසන් මහා තරගයේදී මැලේසියානු ක‍්‍රීඩිකා යස් සස්ලීන් යස්රි හමුවේ 6/0, 6/4 ක් ලෙස පරාජය වුවාය. නෙත්මි කාන්තා යුගල ඉසව්වේදී ෆාතුම් ඉසදීන් සමග ක‍්‍රීඩා කර එහි රිදී පදක්කම දිනාගත් අතර එහි රන් පදක්කම සත්කාරක වියට්නාමයට හිමිවිය. දෙවැනි තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා නෙත්මි ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය. පාකිස්තානු ක‍්‍රීඩිකා මහීන් දාදා සමග යුගල ඉසව්වට සහභාගිවු නෙත්මි එහිදී මැලේසියාව හමුවේ පරාජය ලැබීය. කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වයස 14 න් පහළ ටෙනිස් ශූරියයි. ඇය ජාතික ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) අට වැනි ස්ථානයේ සිටින නැගී එන ක‍්‍රීඩිකාවකි. තරගාවලියට බංග්ලාදේශය, ලා ඕසය, මියන්මාරය, සිංගප්පුරුව, භූතානය, මැලේසියාව, මැකාවෝ, කාම්බෝජය, මාලදිවයින, නේපාලය, මොන්ගෝලියාව සහ පාකිස්තානය යන රටවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවුහ.