ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැකයක් නෑ - පාකිස්තානු විදේශ ලේකම්


(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ගයාන් අමරසේකර) 
 
පකිස්තානයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගත යුතු නැතැයි මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (18) ප්‍රකාශ කළාය. 
 
පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයක නිරතවීම ඉමහත් සතුටක් යැයි ද පකිස්තාන විදේශ ලේකම්වරිය කීවාය. 
 
පකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත ‘පාකිස්තාන ආදී විද්‍යාර්ථීන්ගේ ශ්‍රී ලංකා සංගමය’ ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් විදේශ ලේකම්වරිය එම කරුණු කීවේය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ ලේකම්වරිය තවදුරටත් මෙසේ කීවාය.
 
“ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අපි ඉමහත් සතුටට පත්වෙනවා. එය අප ලද ගෞරවයක්. පකිස්තාන ජාතිකයන් පකිස්තාන කණ්ඩායමට හා සමානව ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජයඝෝෂා නගනවා. මම ඒ ගැන සුරක්ෂිත වෙනවා. 
 
ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට සාදරයෙන් පිළිගන්නවා. ඔවුන් පකිස්තානයේ දී ඉතා හොඳ කාලයක් ගත කරාවි. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් අවශ්‍ය කරගත යුතු නැහැ. පාකිස්තානයේ ලාහෝර් නුවරදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වුණා. ඒ නිසා අපි ගැන ඒ ගැන වදවිය යුතු නැහැ” යැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.