ශ්‍රී ලංකන් වන් වර්ල්ඩ් හා එක් වෙයි


ශ්‍රී ලංකන්  ගුවන්  සමාගම  ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා එකමුතුව වන ‘වන් වර්ල්ඩ්‘  හා එක්ව කටයුතු කිරීම  අද මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ආරම්භ කළේය.

අද උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙම සුවිශේෂී අවස්ථාව සැමරිමේ සමාරම්භක උත්සවය පැවති අතර එහි දී ‘වන් වර්ල්ඩ්‘ ලාංඡනය  සහිත ඒ 330 දරණ  ශ්‍රී ලංකන් ගුවන් යානය එළි දැක්වීම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබුහ.

‘වන් වර්ල්ඩ්‘ සන්ධානයට අයත් රටවල් 14 ක  ජාතික ගුවන් සමාගම් හි ප්‍රධානීන් සහ  ලොව පුරා  නන් දෙසින් පැමිණි ජනමාධ්‍යවේදීන් ද මෙම අවස්ථාවට එක් වුහ.

ඔවුහු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රුක්  රෝපනයටද එක්  වුහ.

උඩරට සහ පහත රට නැටුම් ගැයුම් මැද පැවති උත්සවය ඉතා චමත්කාර විය.

ලෝකයේ ඉහළ ඇගයුමකට ලක් වු වේගයෙන් සංවර්ධනය වන ‘වන් වර්ල්ඩ්‘ ගෝලීය  සන්දානයේ උසස් තත්වයේ ප්‍රතිලාභ සහ සේවා  රැසක් අද සිට  ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමිවේ.

ඉන්දියානු උප මහාද්වීපයේ ගෝලීය ගුවන්සේවා සන්ධානයක් හා එක්වන ප්‍රථම ගුවන්සේවය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි.

ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා සන්ධානයක් වන වන් වර්ලඩ් සන්ධානයේ ආරම්භයෙන් වසර 15 ට පසු විශාලතම සාමාජික ජාල ව්‍යාප්තිය මෙයින් සම්පුර්ණ වෙයි.
අද සිට  ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ වන් වර්ලඩ් සාමාජික ප්‍රමුඛතම ගුවන් සේවා හා එක්ව පියාසර කරනු ඇත.

කැතේ පැසිෆික්, ජපෑන් එයාර්ලයිනස්, මැලේෂියා එයාර්ලයින්ස්, කොන්ටාස් යන ආසියා ශාන්තිකර කලාපීය රටවල් වල ගුවන්සේවාද, යුරෝපයේ එයාර් බර්ලින්, බ්‍රිටිස් එයාර්වේස්, ෆින් එයාර්, අයිබීරියා යන ගුවන් සේවා හා රුසියාවේ එස් 7 එයාර් ලයින්ස් මැද පෙරදිග කලාපයෙන් කටාර් එයාර්වේස්, රෝයල් ජෝදානියන් උතුරු ඇමරිකාවේ ඇමරිකන් එයාර් ලයින්ස් සහ යු.එස් එයාර්වේස් ඒකාබද්ධ ගුවන්සේවාවද දකුනු ඇමරිකාවේ ලැන් ගුවන් සේවය සහ එහි  පාර්ශවීය ලැටම් ගුවන්සේවා සමුහය සහ ටැම් එයාර්ලයින්ස්  ඊට ඇතුලත් වේ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය  යන මහත්වරුන් ඇතුළු වන් වර්ලඩ් සාමාජික ගුවන්සේවාවන්හි ජ්‍යෙෂ්ඨ විධායකයින්ද, දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල  පිරිසක් එක් වුහ.