(ඩයනා උදයංගනී)
ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා නීතිපතිවරයා වෙත යොමු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතව මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබිණි.
එම කොමිෂන් සභාව විසින් විවිධ පාර්ශව වලින් ලබාගත් ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

