වියදම් අඩු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ අතිරේක සේවකයන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ඔස්සේ එම අතිරේක සේවක පිරිස ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන අතර රජයේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සමාගමේ කාර්යසාධක බළකායක් පත් කිරීමට ද නියමිතව ඇත.
ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ මූල්‍ය තත්ත්වය සලකා බැලීම සඳහා පත්කළ කමිටුවක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. සමාගමේ අතිරේක සේවක සංඛ්‍යාව 2,000කට ආසන්න බවත් ඔවුන් අතරින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවුරුදු 50ත් 55ත් අතර වයස්වල පසුවන බවත් පැවසේ.
ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව එක්සත් ජනපද ඩොලර් මිලියන 107ක් බව පැවැසිණි.
සමාගමේ මූල්‍ය තත්ත්වය විමසා බැලීම සඳහා පත් කරන ලද කමිටුව ඉහත යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ගේ එම යෝජනාව ද ඇතුළත් වාර්තාව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට බාර දී ඇත.
ගුවන් සමාගමේ පාඩුව ඉදිරියේදී අවම කරගනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙන එම කමිටුව සමාගමේ ශේෂපත්‍රවලින් හැකි ඉක්මනින් ‘උරුම ණය’ ඉවත් කළ යුතු බව ද නිර්දේශ කර තිබේ. එසේ නොමැතිවුවහොත් ණය සඳහා ගෙවීමට ඇති පොලී මුදල් ද සමාගමේ සම්පූර්ණ ණයට එකතුවනු ඇතැයි ද කමිටුව පෙන්වා දී තිබේ.
ඇණවුම් කරන ලද 350 එන්.ඊ.ඕ (නියෝ) 300 ගුවන් යානා හතර නැවත බාරදීම සඳහා ‘එයාර්බස්’ සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් අදාළ ගුවන් යානා වෙනුවට ‘එන්.ඊ.ඕ (නියෝ) 320’ ගුවන් යානා 8ක් ලබාදීමට ‘එයාර්බස්’ සමාගම එකඟතාව පළ කර ඇති බවත් කමිටුව අමාත්‍යවරයාට දුන් වාර්තාවේ සඳහන්ව ඇත. අදාළ බාරදීම් 2023 වසරේදී අවසන් වනු ඇතැයි පැවසේ.
එම ලබන මූල්‍ය වසරේදී සමාගමේ වියදම සියයට 15කින් අඩු කරන්නැයි ද එම කමිටුව නිර්දේශ කර තිබේ.