(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය, ශ්‍රී පාද පිවිසුම් පියගැටපෙළ ආරම්භක ස්ථානයේ මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් ස්ථාපිත කර තිබූ ශ්‍රීපාදස්ථාන නාම පුවරුවේ දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් සඳහන් වැකි අද (20) දා රාත්‍රී කිසියම් පුද්ගලයෙක් විසින් කළු තීන්ත වලින් මකා දමා ඇති බව පවසමින් නල්ලතන්නිය ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය.
මෙම නාම පුවරුවේ දමිළ භාෂාවෙන් “සිව නොලි පාද මලෛයි” හා ඉංග්‍රීසි භාෂාවෙන් SRI PADAYA ලෙස සටහන් කර තිබූ වැකි දෙක මෙසේ කළු වර්ණ තීන්ත වලින් මකා දමා තිබුණි.
මෙම විරෝධතා කරුවන් පිරිස මෙහිදී කියා සිටියේ, නාම පුවරුව මකා දමා ඇති පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.
හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පොලිස් නිලධාරීන් සමග මෙම ස්ථානයට පැමිණ ශ්‍රීපාද වන්දනාකරුවන්ට අපහසුතාවයක් නොවන අයුරින් රැස්ව සිටි පිරිස සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
නල්ලතන්නිය ග්‍රාම නිලධාරි ගොඩනැඟිල්ලේ රැස්වීම් ශාලාව වෙත ප්‍රදේශයේ සිංහල, දමිළ ජනතාව හා වෙළඳ සංගමයේ නියෝජිතයින් සමග පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වන ලදී.
සිංහල දමිළ ප්‍රජාව අතර මෙම සුළු සිද්ධියක් මුල් කරගෙන මතභේදකාරි තත්වයක් ඇති නෙවන අයුරින් ජාතික සමගිය තවදුරටත් තහවුරු වන ආකාරයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ප්‍රශ්නය සමතයකට පත් කිරීමට හැකි වූ බව පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පැවසීය.
මෙම නාම පුවරුවේ කළු තීන්ත ආලේප කර ඇති පුද්ගලයන් සම්බන්ධ නාම පුවරුව අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් අධිකාරි වරයා වැඩිදුරටත් පැවසීය.

