(මනෝප‍්‍රිය ගුණසේකර)
අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කළ බවට චෝදනා ලැබ සිටින විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නැමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (04) නියම කළේය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලුපිටියේ ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්යක්ෂ ධූර දරන සමාගමට ලබා දුන් බවට බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළැයි ඔහුට තර්ජනය කර තිබුණි.
සැකකරු රුපියල් 50,000 ක මුදල් හා රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනා බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනැවීය.
බැදුම්කර කොමිසම හමුවේ කරුණු හෙළි කළ අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා පත‍්‍රය මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකාර ශනිල් නොත්තිකුමාර මහතාට බාර දීමෙන් අනතුරුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළේය.
2015 ඔක්තෝම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජයන්ත විජේසුරිය නමැත්තාට තර්ජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශනිල් නොත්තිකුමාර නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.
ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත‍්‍රය විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේදී බාර දෙන ලදී.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සජිත් ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්යක්ෂ ධූර දරන සමාගමට ලබා දුන් බව හෙළි කළේ අනිකා විජේසූරිය මහත්මිය බවත් විත්තිකරු විසින් ඇගේ සහෝදරයාට තර්ජනය කර ඇති බවත් එය බරපතල සිද්ධියක් බවත් පැවසුවාය.
එවැනි බරපතල චෝදනාවකට ලක්ව සිටින විත්තිකරුවකුට ඇප නියම කිරීමට තීරණය කරන්නේ නම් විත්තිකරු අධිකරණයට ගෙන්වා ගැනීමට හැකිවන ආකාරයේ කොන්දේසි මත ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීමට හා නඩු විභාගයට දින නියම කිරීම සඳහා මෙම නඩුව ලබන අගොස්තු මස 09 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

