වෛද්‍යවරයාට මරු කැඳවූ අනතුරේ පරීක්ෂණ ගැන සැකයක්


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

අලුත්ගම බෝගම දී විශේඥ වෛද්‍යවරයෙකුට මරු කැඳවමින් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පක්‍ෂග‍්‍රාහී නොවී නිසි අන්දමින් පරීක්‍ෂණ සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වීරඟුල පොලිසියට නියම කළේය.

වතුපිටිවල රෝහලේ මානසික රෝග පිළිබඳ විශේඥ වෛද්‍ය වසන්ත පුෂ්පකුමාර හේරත් මහතාට මරු කැඳවමින් සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්‍ෂග‍්‍රාහිව පරීක්‍ෂණ කටයුතු සිදුකරන බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ අධිකරණය නොමඟ යවන අන්දමට බවත් පවසමින් අනතුරින් මියගිය වෛද්‍යවරයාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හිමාලි කුලරත්න මහත්මිය කළ දැනුම් දීමක් සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින එල්.එම්. 8869 දරණ ලොරි රථයේ රියදුරු වන සින්නමඩම බංගදෙණියේ  මුදිත ගයාන් රාජපක්‍ෂ නමැති සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අලුයම සැකකරු පැදවු ලොරි රථය නුවර දෙස සිට කොළඹ දෙසට නියමිත මංතීරුවේ සහ විශේඥ වෛද්‍යවරයා පැදවු කාර් රථය කොළඹ දෙස සිට නුවර දෙසට විරුද්ධ මංතීරුවේ ධාවනය වෙද්දී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇතත් අනතුර සිදුවු ස්ථානයේ ඇති ‘සිසිල’ හෝටලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සැකකරු නුවර දෙස සිට කොළඹ දෙසට පැදවු ලොරි රථය වංගුවකදී වැලි ලොරියකට ඉස්සර කරමින් විරුද්ධ මංතීරුවේද  විශේෂඥ වෛද්‍යවරයා කොළඹ දෙස සිට නුවර දෙසට පැදවු කාරය නියමිත මංතීරුවේද ධාවනය වෙද්දී මෙම අනතුර සිදුවන බව පැහැදිලිව පෙනෙන්නට ඇතැයි වෛද්‍යවරයාගේ පාර්ශ්වයේ නීතිඥවරිය අධීකරණයට කියා සිටියාය.

සැකකාර ලොරි රියදුරා වයස අවුරුදු 23ක තරුණයකු බවත් ඔහු වැන්නකුට නුවර සිට බියගම ප‍්‍රදේශයට මෙවැනි දීර්ඝ ගමනක් යෑමට පළපුරුද්ද ඇත්දැයි ප‍්‍රශ්න සහගත බවද ඇය දන්වා සිටියාය.

මෙම අනතුර සිදුවන ආකාරය ඇසින් දුටුවකුගේ සාක්කි නොමැති බව පොලිසිය දැනුම් දී ඇතත් ලොරි සහායකයා අනීවාර්යයෙන්ම මෙම අනතුර සිදුවන අයුරු දැක තිබිය යුතු බවත් ලොරි සහායකයා මෙම සිද්ධියේ සාක්කිකරුවකු ලෙස කැඳවීමට නියම කරන්නැයි ද ඇය ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වීරඟුල පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් තමන් ‘සිසිර’ හෝටලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබාගෙන ඇතැයි දැනුම් දුන්නේය.

පැමිණිල්ල ලබන වසරේ ජනවාරී 9 වැනිදා කැඳවන ලෙසත් එදින පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්  අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.