වෛද්‍ය පාදෙණිය නිතරගයෙන්ම යළි සභාපති තනතුරට


(රංජන් කස්තුරි)
විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා අඛණ්ඩව 7 වැනි වරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වීමට නියමිත ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2017/2018 වර්ෂය සඳහා නව නිලධාරී  මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන ජූනි සම 24 වැනි දා කොළම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

එම නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගැනීමට නාම යෝජනා බාර ගැනීම ඊයේ (24) පස්වරු 4.00ට අවසන් කෙරුණ අතර වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කණ්ඩායමට එරෙහිව මෙවර කිසිදු නාමයෝජනාවක් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 2011 වසරේ සිට මේ දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

පාදෙණිය මහතා මෙවරද සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ලේකම් ධුරය සඳහා නාමයෝජනා ලබාදී තිබේ.

වර්තමාන ලේකම් නවීන් ද සොයිසා මහතා සහ වෛද්‍ය නලින්ද හේරත් යන මහත්වරුන් 2017/2018 වසර සඳහා සහකාර ලේකම්ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.