වෙලේ සුදාට-මොහොමඩ් නියාස්ට දෙන්න මුදල් ගෙනා අයෙක් අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)
 
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් දෙදෙනෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ මොහොමඩ් නියාස් යන දෙදෙනාට ලබා දිම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් රැගෙනවිත් බන්ධනාගාරය අසල රැඳි සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන අද (27)අලුයම රත්ගම පොලිසිය වෙත බාරදි තිබේ.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය දුම්රිය පොල පාර පදිංචි 26හැවිරිදි පුද්ගලයෙකි.
 
මෙම පුද්ගලයා මුදල් රගෙන පැමිණ ඊයේ සවස බන්ධනාගාරය අසල රැඳි සිටියදි එහි ආරක්ෂාව සඳහා යොදවා සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සැකපිට  අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි ඔහු සන්තකයේ තිබි රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් සොයාගෙන ඇත.
 
වැඩි දුරටත් කරන ලද ප්‍රශ්න කිරිමේදි එම මුදල් මෙම සැකරුවන් දෙදෙනාට දිම සඳහා ගෙනෙන ලද බවට අනාවරණය විමෙන් පසු අධිකරණමය කටයුතු සඳහා සැකකරු අද අලුයම 2ට පමණ රත්ගම පොලිසිය වෙත බාරදි ඇත.
 
සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙතඉදිරිපත් කිරිමට නියමිතය.