වෙලේ සුදාට මරණ දඬුවම


හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14) මරණීය දණ්ඩනය නියම කළේය.

ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ගල්කිස්ස අධිකරණය අසල ප්‍රදේශයකදී විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට වූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඬුවම පැනවීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී වෙලේ සුදා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේදී වෙලේ සුදා සාක්කි දෙමින් තම පියාට අයත් පොල් ඉඩමකින් ලැබුණු පොල්, අන්නාසි සහ බිත්තර විකුණා තමා පෝසතකු වූ බවත් තමන් අකුරු නොදන්නා නමුත් තම දරු තිදෙනා කොළඹ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන බවත් පැවසීය.

කොළඹ හතෙන් මන්දිර, කොළඹ මධ්‍යයේ ඉඩම් මෙන්ම ඉන්ධන පිරවුම්හල්ද ඇති තමන්ට සුපිරි නවීන පන්නයේ වාහන ඇති බවද ඔහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පිළිගත්තේය.

ඉදිරිපත්වූ සියලු සාක්කි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණ දඬුවම පැනවීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.

සමාජයක පුද්ගලයන්ට හා රටට කිව නොහැකි හානියක් කරන මෙවැනි වැරදිකරුවනට උපරිම දඬුවම් දියයුතු බවත් වෙලේ සුදාට එරෙහි චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ බවත් විනිසුරු ප්‍රකාශ කළේය.

මෙවැනි අයට ඉහළම දඬුවම පැනවීමෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවන් දෙවරක් සිතා බලනු ඇතැයිද විනිසුරුවරයා කීවේය.

වෙලේ සුදා විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයද විනිසුරුවරයා ඉවත දැමීය. 2008 දෙසැම්බර් 4 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක මර්දන අංශය ගල්කිස්සේදී ඔහු අත්අඩංගුවට ගත්තේය.

 

welesuda_20151014 welesuda_20151014-2 welesuda_20151014-3