වෙලේ සුදාගේ බිරිඳගේ සේප්පුවේ යතුර නැතිවෙලා



 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගේ බිරිඳගේ රුපියල් කෝටි ගණනක රන් අභාරණ තැන්පත් කොට ඇති නුගේගොඩ මහජන බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේ දී අස්ථාන ගතවී ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ අද (23) හෙළි විය.

අදාළ ආරක්‍ෂිත සේප්පුවේ යතුර කොළඹ මහාධිකරණයේ භාණ්ඩ ගබඩා කාමරයේදී අස්ථාන ගතවී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස මහාධිකරණ විනිසුරුවරයා රහස්  පොලිසියේ  අධ්‍යක්‍ෂවරයාට නියම කළේය.

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත්  බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාට ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී වෙළේ සුදාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල මුතුමුදලි මහතා  විසින් විනිසුරුවරයාට දැනුම් දුන් විට එලෙස නියෝග කැරිණි.

2010 ජනවාරි මස පළමුවැනිදාත් 2012 අපේ‍්‍රල් මස 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඔ හා අවට ප‍්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කොට මුදල් හා දේපල උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප‍්‍රියදර්ශණී සහ ඔහුගේ  ඥාති නැගණියක වන වසන්ති වසුන්දරා නමැත්තියයි.

නඩුව ලබන මස 16 වැනි දා යළි කැඳවීමට නියමිතය‍.