වෙලේ සුදා ගැන හිරේ 8 දෙනෙකුගෙන් කටඋත්තර ගනී


වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී අනීත්‍යානුකූල ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව පෙන්වීමට එම මුදල් යොදාගෙන සිදුකළ ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන විට සිරගත කර සිටින පුද්ගලයින් 8 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කර සිටි පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය තවත් පුද්ගලයින් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු තවමත් අවසානව නොමැති බවත් ඉක්මනින්ම එම කටයුතු අවසාන කිරීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ නිලධරයෝ පැවසූහ.

කරුණු විමසූ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පරීක්ෂණ කටයුතු අවසාන කිරීමට මෙම මස 16 වැනිදා දක්වා කල් දුන්නේය.

සුරාජ් අහමඩ්,සාලිය කුමාර,නිසංසලා සඳ කුමාරි,සුගත් කුමාර,නදීශා නිල්මිණී සහ එස්.ශානක ෆොන්සේකා යන අය වෙලේ සුදා මත්කුඩු ජාවාරමේ යෙදී උපයාගත් අනීත්‍යානුකූල මුදල් වලින් නොයෙක් ගනුදෙනු වල යෙදී ඇතැයි චෝදනා ලැබ සිටිති.

මුදල් ගනුදෙනු වල යෙදී ඇති තවත් පුද්ගලයින් 184 දෙනෙකුගේ දුරකථන අංක මේ වන විට හඳුනාගෙන ඇති බවත් එයින් 45 ක්ම වෙලේ සුදා හා අයථා මුදල් ගනුදෙනු වල යෙදී ඇති බවට සැක‍කෙරෙන සිරගෙදර නිලධරයින්ගේ බවත් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය කියයි.

සාලිය කුමාර නම් සැකකරු වෙලේ සුදා මත්කුඩු ජාවාරමේ යෙදී උපයාගත් ලක්ෂ 240 ක මුදලකින් විවිධ ගනුදෙනු සිදුකර ඇති බව පවසන අපරාධ පරීක්ෂණ කොට්ඨාශය ඔහුගේ බිරිඳ වන නදීශා නිල්මිණී තවත් රුපියල් ලක්ෂ 160 මුදලක් ඇයගේ බැංකු ගිණුමේ තැන්පත් කර එම මුදල් අනීත්‍යානුකූල ලෙස උපයාගත් මුදල් නොවන බව පෙන්වීමට කටයුතු කර ඇතැයිද කියයි.