(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපති ධූරයක් නොමැතිව එල්. ඒ. විමලරත්න යන අය එම තනතුරට පත් කිරීමෙන් ‘දූෂණය‘ නම් වරදක් සිදුකර ඇතැයි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වැඩිදුර විභාගය ලබන අප්‍රේල් මස 06 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (23) නියෝග කළේය.
මෙම නඩුව කැඳවන අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (23) රාජකාරි නිවාඩු ලැබ සිටීම හේතුවෙන් එම නඩුව කල් තැබීමට එලෙස තීරණය වී තිබේ. මෙහි චූදිත වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇප මත සිටිමින් අද (23) අධිකරණය හමුවේ පෙනී සිටියේය. හිටපු අමාත්‍යවරයා, රුපියල් 10,000/-ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අධිකරණය මගින් මුදා හරිනු ලැබුවේ 2016 වසරේ පෙබරවාරි මස 16 වැනිදාය.