වෙන්නප්පුවේ මන්ත්‍රීවරුන්ගේ මුල්ම ගැටලුව කෑම සහ දීමනා



චන්දන ප්‍රනාන්දු 
 
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මංගල රැස්විමේදී කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේන් පසු සභාවේ සිටි සමහර මන්ත්‍රීවරුන්ගේ පළමු ගැටලුව වූයේ මන්ත්‍රීවරුන්ගේ සන්නිවේදන දීමනාව ලබාගන්නා ආකාරය හා  දිවා ආහාරය ලබා දෙන්නේද යන්නයි.
 
මීට පෙර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට රුපියල් 3000 ක සන්නිවේදන දීමනාවක් ලබා දි ඇතැයි ද එමෙන්ම සභාවේ රැස්වීම සඳහා සහභාගී වන මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය ලබා දී ඇතැයි ද පැවසූ හිටපු මන්ත්‍රීවරු එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියහ.
                                                                                                             

දිවා ආහාරය සඳහා එක් අයකුට රුපියල් 600 ක් වැනි මුදලක් වැයවන බවත්, පසුගිය ප්‍රාදේශීය සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 25 ක් වුවත් මෙවර එය 44 ක් දක්වා වැඩිවීම නිසා දිවා ආහාරයට මෙන්ම සන්නිවේදන දීමනාවට ද විශාල වියදමක් දැරිය යුතු නිසා එය නැවත සළකා බලා තීරණයක් ගත යුතු බව සභාපති, විපක්ෂ නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක් පැවසූහ.
 
මෙම කරුණ සාකච්ඡා කිරිමේදි සභාවේ බහුතරයක් පවසා සිටියේ කෙටි ආහාර වේලකට යාම සුදුසු බවයි. ඒ හේතුවෙන් එම වියදම් සළකා බලා ලබන සභා වාරයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනාව කල් තැබීය.