වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වයිරසය පැතිරී නෑ


(නිමන්ති රණසිංහ)
 
කොරෝනා වයිරසයට මුහුණ දුන් ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව අප රට තුළ එම වයිරසය පැතිර ගොස් නැති බව දත්ත නිරීක්ෂණය කිරීමෙන් සනාථ වී ඇතැයි රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මෙම වයිරසේ  ව්‍යාප්තිය  පිළිබද විවිධ ප්‍රක්ෂේපන  ක්‍රම බිහිවී ඇතත්, ඒවා අභිබවා රෝගය පැතිර යාම නිසා නවීන තාක්ෂණය බෙහෙවින් භාවිත කරන රටවල් පවා බලාපොරොත්තු නොවන පරිදි අවධානමට ලක්වී ඇති අවස්ථාවක අප රට තුළ එම වයිරසය පැතිර නොගොස් ඇතිබව නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
කොරෝනා රෝගීන් බහුතරයකට එනම් 80%ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වා හෝ ම`ද වශයෙන් පෙන්වමින් නමුත් විශාල ලෙස රෝගය පැතිරවීමට හැකිවීමත්, රෝගය හදුනා ගැනීමට ඇති පරීක්ෂණවල සංවේදීතාව 70%කට අඩු වීමත් යන කරුණු වයිරසය ශීඝ්‍රයෙන් වර්ධනය වන රටවල තත්ත්වයට ප්‍රධාන හේතුව බවද රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මෙරට තුළ මෙම රෝග  ව්‍යාප්තිය ආරම්භයේ සිටම කොරෝනා වයිරසය පිළිබද හා එහි ව්‍යාප්තිය පිළිබද තාක්ෂණීක තීරණයන් තම සංගමය විසින් රජය වෙත ලබාදුන් බවත්, රජය ඒවා පිළිපැදිම අගය කළ යුතු කරුණක් බවත් එම සංගමය සදහන් කරයි.
 
එසේම, පවතින අවදානම් තත්ත්වය විද්‍යාත්මක අධ්‍යනය  කරමින් රටේ ජන ජීවිතය ක‍්‍රමවත්ව නැවත යථා තත්ත්වයට  පත්කිරිමට හැකි ක්‍රමවේදයක් ද අප සංගමය ජනාධිපතිවරයා වෙත ද ලබාදී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සිය නිවේදනයේ සදහන් කර ඇත.