(මුදිතා දයානන්ද)
ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිසානායක මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
“අපේ ඡන්ද ප‍්‍රමාණය මහමැතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයකින් වැඩිවි තිබෙනවා. අපට ඡන්දය දුන් සියලූ දෙනාගේ අරමුණ පවතින සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීමයි. ඒ වගේම මේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම ප‍්‍රතික්ෂේප කරන පිරිසක් තමයි අපිට ඡන්දය ලබාදුන්නේ. එසේ තිබියදී අපිට වෙනත් පක්ෂයක් සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නැහැ. අපි පළාත් පාලන ආයතන තුලදීත් ඉන් පිටතදිත් අපිට ඡුන්දය දුන් ජනතාවට කිසිදා කණගාටුවන්නට කාරණා ඉතිරි නොවන පරිදි සැබෑ මහරජන සේවකයන්ගේ කාර්යභාරය ඉටු කරනවා.
ඒ වගේම දැන් ඇතැමුන් මේ වෙලාවේ ආණ්ඩුබලය හුවමාරු කරන්න කතා කරනවා. දැන් වෙන්න පුළුවන් කාරණා තුනයි තියෙන්නේ. එක්කෝ මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමග එක්ව මෛත‍්‍රීපාල කණ්ඩායම ආණ්ඩුවක් හදන්න ඕන. නැත්නම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම වෙනම ආණ්ඩුවක් හදන්න ඕන. එහෙමත් නැත්නම් තිබුණ ආණ්ඩුවම කැබිනට් සංශෝධනයක් කරලා පවත්වාගෙන යන්න ඕන. වඩාත් වැඩි ඉඩකඩක් තිබෙන්නේ තුන්වෙනි ආකාරයයි. මේ කොයි ආකාරයේ ආණ්ඩුවක් හැදුවත් රටේ ජනතාවට සිදුවන සුගතියක් නැහැ. මොකද දැන් මේ කවුරු බලය පවත්වාගෙන ගියත් 2015 වෙනස කළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න ඔවුන්ට පුලූවන්කමක් නැහැ. ඒ අභිලාෂයන් ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයක් අපි ඉදිරියේදී ගොඩනගනවා. “