හොරොව්පොතාන පැතුම් දර්ශන
හොරොව්පොතාන වාගොල්ලාගොඩ පොලිස් මුර පොලේ සේවය කළ කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක භටයකු ඊයේ (18) රාත්‍රී වාගොල්ලාගොඩ ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර සිවිල් ආරක්ෂක භටයා සතුව තිබූ ගිනි අවිය පත්තුවි සිදු වූ වෙඩි වැදීමෙන් ඔහු සමග සිටි පොලිස් කොස්තාපල්වරයා මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන පහල දිවුල්ලැව ප්‍රදේශයේ පදිංචි, හොරෙව්පොතාන පොලිසියේ සේවය කළ ජේ. සුසන්ත ජයරත්න නැමැති (31) හැවිරිදි කොස්තාපල්වරයෙකි. ඔහු විවාහ වී ඇත්තේ මීට මාස අටකට පමණ පෙර බවද පොලිසිය කියයි.
පහළ යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යටවන වාගොල්ලාකඩ ප්‍රදේශයේ සිදුකරන වැලි කැණීම් සම්බන්ධයෙන් සිදුවන අකටයුතුකම් පිළිබඳව සොයා බැලීම සඳහා හොරොව්පොතාන පොලිසිය විසින් වාගොල්ල ප්‍රදේශයේ තාවකාලික පොලිස් මුරපොළක් පිහිටුවා ඇත්තේ ඉකුත් 16 වැනදාය.
මෙම කොස්තාපල්වරයා ද වාගොල්ලාකඩ පොලිස් මුරපොළේ සේවය සඳහා හොරොව්පොතාන පොලිසිය මගින් අනුයුක්ත කොට තිබී ඇත.
ඒ අනුව එම තාවකාලික පොලිස් මුරපොල යේ සේවය කළ මියගිය කොස්තාපල් වරයා සහ පොලිස් සේවයට අනුයුක්ත කොට ඇති සිවිල් ආරක්ෂක භටයා ඊයේ (18) රාත්‍රී 11.30 ට පමණ වාගොල්ලකඩ පොලිස් මුරපොල පිටුපස ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වී ඇත.
තරමක් කැලෑබද ප්‍රදේශයක් වන මෙම ස්ථානයේ රාත්‍රී කාලයේ හේතුවෙන් මෙම දෙදෙනා එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගමන් කර ඇති බවත්, එහිදී සිදුව ඇති අතපසුවීමකින් සිවිල් ආරක්ෂක භටයා සතුව තිබූ ගිනි අවිය පත්තුවී කොස්තාපල්වරයාට වෙඩි වැදී ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.
වෙඩි වැදුණු කොස්තාපල්වරයා එ් මොහොතේම හොරොව්පොතාන රෝහල වෙත ගෙනයාමට කටයුතු කර තිබුණ මුත් අතරමග දී ඔහු මිය ගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිවිල් ආරක්ෂක භටයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කොස්තාපල්වරයාගේ සිරුර මේ වනවිට හොරොව්පොතාන රෝහලේ තැන්පත් කොට ඇත.
සියලු සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් වරයා විසින් සිදුකිරීමට නියමිත අතර පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යාමට නියමිතය.
නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සදුන් ගහවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරන මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී සේනක ජයසිංහ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කන්දෙවත්ත මහතා ඇතුළු නිලධාරීන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරති.