වෙඩි ප්‍රහාරයකින් මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට


ඉන්දිකා රාමනායක

දකුණේ ප්‍රබල පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයා වශයෙන් හැඳින්වෙන සුදුහකුරගේ  මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්නා  අද (25) රාත්‍රීයේ කඹුරුපිටිය අකුරැස්ස පාරේ විල්පිට රක්ෂිත ප්‍රදේශයේ  විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම සැකකරු  තවත් පිරිසක් සමඟ  අද  රාත්‍රී 7.45 ට පමණ  ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඒ සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් එම මාර්ගයේ මාර්ග බාධක යොදා රථය නැවැත්වීමට උත්සහ කිරීමේදී  සැකකරුවන් භට පිරිස්වල අණ නොතකා   පලාගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

විශේෂ කාර්ය බලකාය  ඔවුන් ගමන් ගත්  ත්‍රීරෝද රථය පසුපස ජිප්  රථයකින් හඹා යන අතරතුර සැකකරුවන් ගමන් ගත් ත්‍රීරෝද රථය විල්පිට රක්ෂිතය දෙසට ධාවනය කරවා ඇති අතර සැකකරුවන් රක්ෂිතයේ සිට විශේෂ කාර්ය බලකා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එහිදි භට පිරිස් සැකකරුවන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී  මානෙල් නැමැති මෙම සැකකරුට වෙඩි වැදී තුවාල ලබා ඇති අතර භටපිරිස් ඔහු  අකුරැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙම සැකකරු භටපිරිස් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ ටී 56 ගිනි අවිය ද එම ස්ථානයේ වැටී තිබියදී හමුවී ඇත.

මෙම සැකකරු මාකදුර මධූෂ් නැමැත්තාගේ දකුණේ ප්‍රධානතම ගෝලයා බවද  මධුෂ් නැමැත්තා දකුණේ සිදුකරන කප්පම් ගැනීම් ,  මත්කුඩු ජාවාරම් , ඇතුලු  නීතිවිරෝධී ජාවාරම් සිදුකරන්නේ මේ හරහා බවද  විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේ එම ත්‍රීරෝද රථයේ  පුද්ගලයින් තිදෙනකු ගමන් ගෙන ඇති අතර ඉන් දෙදෙනකු පැනගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.