වෙඩි පහරින් මිය ගිය යාපනය සිසුන් දෙදෙනා බීමතින් සිටි කතාව බොරු


තරිදු ජයවර්ධන

පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්  දෙදෙනා වෙඩි වැදීම සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර  සිටි බවට පොලිසිය කළ චෝදනාව  අසාත්‍ය බව අනාවරණය වේ.

ඒ බව හෙළිදරව් වනුයේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව  ලබාගත් සිසුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුවය.

සාදයකට ගොස් යාපනය-චුන්නාකම් මාර්ගයේ එමින් සිටිය දී යාපනය කොක්විල්හි කුලප්පිට්ටිහිදී මෙම වෙඩි තැබීම සිදුවූයේ 2015 ඔක්තෝබර 20 වැනි දා ය. පොලිසිය ඔක්තෝබර් 21 වැනි දා දවල් 1ට නිවේදනය කළේ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

ඉන් පසු මතුවූ විරෝධයෙන් පසු පරීක්ෂණ සඳහා රහස් පොලිසිය කැඳවූ අතර යාපනය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.  වෙඩි තැබීමට සැකපිට රහස් පොලිසිය විසින් පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

යතුරු පැදිය ධාවනය කළ සුලක්ෂන් සිසුවා අණ නොතකා ගියැයි සහ බීමතින් ගියැයි පොලිසිය කී නිසා ඔහුට හිමි රක්ෂණයක ප්‍රතිලාභද නොලැබිණි. කෙසේ වෙතත් පොලිස් වෙඩි වැදීම සිදුවී ඇත්තේ යතුරු පැදිය ධාවනය කළ සුලක්ෂන් සිසුවාටම බව මෙම මරණ පරීක්ෂණ වාර්තාව අනුව හෙළිදරව් වෙයි.

24 හැවිරිදි විජයකුමාර් සුලක්ෂන් යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ඉගෙනුම ලබිමින් සිටියේය. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ වෛද්‍ය යූ මයුරදන් මහතාය. මරණය සිදුවන අවස්ථාවේ සුදු පැහැති ටීෂර්ටයකින් සහ කලු පැහැති සහ තද නිල් පැහැති කොට කලිසමකින් සුලක්ෂන් සිසුවා  සැරසී සිට ඇති අතර ඔහුගේ එම ඇඳුම් ලේවලින් බරිත වී තිබී ඇත.  සිසුවාගේ ආමාශයේ  ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750ක් පමණ තිබුණු බවත් මත්පැන් දක්නට නොලැබුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වේ.

සිසුන් දෙදෙනා යතුරු පැදිය නොනවත්වා ධාවනය කරද්දී වෙඩි තැබීයැයි පොලිසිය කීවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදිය පැදවූ සුලක්ෂන් සිසුවාගේ පපුවේ තණ පුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවයි. උණ්ඩය ඇතුළු වූ ස්ථානයේ සෙන්ටි මීටරයක පමණ වටප්‍රමාණයකින් යුත් සිදුරක් තිබී ඇත. ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල තුනක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් දෙකක් ක් ද පශ්තාච් මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මිය ගිය නඩරාජා කජන් නම් 24 හැවිරිදි අනිත් සිසුවාගේ මරණ පරීක්ෂණයද සිදු කරනු ලැබ ඇත්තේ වෛද්‍ය යූ මයුරදන් මහතා විසිනි. එම සිසුවා යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරමින් සිටියේය.   මරණයට පත් වන අවස්ථාවේ සිසුවා යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ කළු පැහැති ටීෂර්ටයක් සහ කළු කොට සලිසමක් ඇඳ සිට ඇත.

විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල හතක්, සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද ඔහුගේ මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ. පපුවට මෙන්ම සිසුවාගේ මොළයට ද තුවාල සිදුවී තිබේ ඇත.  මෙම සිසුවාගේ ආමාංශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබී ඇති අතර ඔහුගෙන් ද මත්පැන් ගඟ වහනය වී නැත.

 තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන් සිසුවා මිය ගොස් ඇති බවත්, රයිෆල් ගිනි අවියකින් පිටවූ උණ්ඩයකින්   පපුවේ ප්‍රධාන රුධිර නාලවලට හානිවීම නිසා සිදුවූ රුධිර වහනයෙන් විජයකුමාර් සුලක්ෂන් සිසුවාමිය ගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වේ.