වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළැයි දෙන්නෙක්ට මරණ දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ රෑ නිවසට කඩා වැදී නිවසේ නිදාසිටි පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වු බොරැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින්  දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (18) මරණ දඬුවම් නියම කළේය.

මීට වසර 20කට ඉහතදී බොරැල්ල ප‍්‍රදේශයේදී විත්තිකරුවන් දෙදෙනා මෙම මිනී මැරීමේ අපරාධය සිදුකර  ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මෙලෙස දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඞී.එම්. අමල් ඉන්දික සහ ධර්මශීලන් පේ‍්‍රමශීලන් නමැත්තන්ටය.

1998 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල ප‍්‍රදේශයේදී රත්නසිරි ගීගනගේ හෙවත් රාළ නමැත්තාට වෙඩි තබා ඔහුගේ මරණය සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මහ රෑ මරණකරු නිවසේ නිදා සිටියදී විත්තිකරුවන් නිවසට කඩා වැදී එහි නිදාසිටි මරණකරුගේ  හිසටම  වෙඩි තබා ඔහු ඝාතනය කළ බවට හෙළි විය.

ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා  පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මෙලෙස මරණීය දඬුවම් නියම කළේය.