විනීතා එම් ගමගේ
රැකියා සඳහා ඊශ‍්‍රායලට පිටත්ව ගොස් මේ වන විට වීසා කාලය අවසන් වී නීතිවිරෝධීව එරට රැදී සිටින ශ‍්‍රමිකයින් 104ක් පිළිබඳ නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව දැනටමත් නඩු ගොනු හැටක් අධිකරණයේ විවෘතව ඇති බවත් තවත් නඩු ගොනු තිහක් සඳහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගෙන තිබෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
අධිකරණමය ක‍්‍රියාදාමයේ පළමු පියවරක් ලෙස තවදුරටත් නීති විරෝධී ලෙස ඊශ‍්‍රායලයේ රැදී සිටින ශ‍්‍රමිකයින් නම දෙනෙකුට විරුද්ධව එන්තරවාසි යැවූ බව ද හෙතෙම කියා සිටියේය.
අධිකරණමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමග නීති විරෝධී ලෙස එරට රැදී සිටි ශ‍්‍රමිකයින් පස් දෙනෙකු ලංකාවට පැමිණ තිබේ.
අධිකරණමය පියවර ගෙන ඇති නඩු ගොනු වලින් නඩු ගොනු විසි දෙකක් මේ වන විටත් කැඳවා තිබේ. මැයි මස අග සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මේ සම්බන්ධයෙන් වන නඩු ගොනු කැදවා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් කෘෂි ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා තරුණයින් යොමු කළා. මාස හයක වැනි කාලයක් සදහා මෙම ශ‍්‍රමිකයින් යොමු කර වැඩි ආදායමක් රට තුළට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. එහෙත් ඇතැම් ශ‍්‍රමිකයින් නියමිත වීසා කාලය නිමවූ පසුව නීති විරෝධී ලෙස එරට රැදී සිටිනවා.
මේ ගැන රාජ්‍ය තාන්ත‍්‍රික දැනුම්දීම් සිදුකර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස එරට රැදී සිටින ශ‍්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අපි කටයුතු කරනවා. මාස හයක සේවා කාලය අවසන් කර නැවත ලංකාවට පැමිණෙන ශ‍්‍රමිකයින්ට නැවත වතාවක් රැකියා සඳහා ඊශ‍්‍රායලයට පිටත්ව යාමට අවස්ථාව තිබෙනවා.
මේ ආකාරයට නියමිත වීසා කාලය අවසන් වීමෙන් පසුව නීතිවිරෝධී ලෙස රැදී සිටීමෙන් රටට ලැබෙන රැකියා කෝටාව අහිමිවී යාමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ රටට තිබෙන කීර්ති නාමයටද හානි වෙනවා.