වීදිකත සැරයන්ගෙන් කෝටි 5ක් ඉල්ලයි


රත්නපුර පොලිසියේ සැරයන්වරයකු රත්නපුර නගර මධ්‍යයේදී තමාට ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස පහරදුන්නැයි රුපියල් කෝටි 5ක වන්දි ලබාදෙන ලෙස ඩල්ලා රත්නපුර පදිංචි දෙදරු මවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූනි 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) අවසර ලබාදුන්නේය.

රත්නපුර තුන්වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ ආරච්චිගේ කාන්තිලතා හෙවත් බට්ටි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ පොලිස් සැරයන්වරයා වන ප්‍රසන්න තිසේරා, රත්නපුර පොලිස් ස්ථානාධිපති, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස්පති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්වන කේ.ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් හමුවේ කැඳවීය.

රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී සිටියේ අදාළ කාන්තාවට පහරදුන් පොලිස් සැරයන් ප්‍රසන්න තිසේරාට හැර සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ඔහු පෙනී සිටින බවයි.