(දිලීප් ජයසේකර)
තිස්සමහාරාම බෙරළිහෙළ කුඩාගම්මාන 4 හි පදිංචි වයස අවුරුදු නවයක දැරියකට මීට වසර 20 කට පෙර අතවර කළ සැකකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් හා වින්දිත දැරියට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ද ගෙවන ලෙස හම්බන්තොට පළාත්බද මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (26) නියම කළේය.
මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ අංක 410, කුඩාගම්මාන 5,බෙරළිහෙළ,තිස්සමහාරාම පදිංචි 52 හැවිරිදි රණතුංග ආරච්චිගේ දොන් මහිනන්ද නැමති තිදරු පියෙකි.
සැකකරු 1998 මැයි 30 වැනි දා සිට දින කිහිපයක්ම කුඩා ගම්මාන 04 හි පදිංචි සිය යහළුවාගේ නිවසට ගොස් එහි සිටි වයස අවුරුදු 09ක් වු දැරිය අවස්ථා කිහිපයකදිම අතවරයට ලක්කර තිබේ.
ඒ වන විට දැරියගේ මව විදෙස් ගත වී ඇති අතර පියා කුඹුරු වැඩවල නියැලී තිබේ. දැරියගේ පියා නිවසේ නොමැති අවස්ථාවලදී සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනයට ලක්කර තිබේ.
දැරිය මේ පිළිබඳව අසල්වැසි කාන්තාවකට පවසා ඇති අතර එම කාන්තාව මේ පිළිබඳව දැරියගේ පියාට දැනුම් දී තිබේ. ඒ අනුව දැරියගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු විභාගය පැවැත්විණි. වසර 20කට පසුව නඩු විභාගය අවසන් කරමින් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (26) නඩු තින්දුව ප්‍රකාශයට පත්කෙරිණි.
ඒ අනුව සියළු වැරදි සඳහා වැරදිකරු වු සැකකරුට වසර 10ක බර වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 5000/- ක දඩ මුදලක් ද නියම කෙරිණී. දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් ද නියම කෙරිණි.
මීට අමතරව වින්දිත දැරියට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ද ගෙවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය .