( තිළිණි ද සිල්වා )
ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.
එහිදී පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය යනුවෙන් සඳහන් කරමින් ඉකුත් බදදා (05) ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.
එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මඟින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු කාරණා කිහිපයක් ඇතුළත් කර ඇති බව සඳහන් කරන ගම්මන්පිල මන්ත්‍රීවරයා ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි හා හතරවැනි වගන්ති සෘජුවම උල්ලංඝණය කරන බව කියා සිටියේය.
මේ හේතුවෙන් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයකින් සම්මත කළ නොහැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙම යෝජනාව තුළින් සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

