විෂයභාර ඇමැතිවරු ප්‍රශ්න මඟහැරයාම කණගාටුවට කරුණක් - කතානායක


(ආරියරත්න රණබාහු සහ සුජිත්හේවාජුලිගේ)

මන්ත්‍රීවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන්  අසන ප්‍රශ්නවලට විෂයභාර ඇමැතිවරු පිළිතුරු නොදීම  ඉතාමත් කණගාටුවට කරුණක් යැයි කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (09 වැනිදා) පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබාදිය යුතු බව නව ස්ථාවර නියෝගවලටද ඇතුළත් කර ඇති බව  කී කථානායකවරයා ජනාධීපති සහ අගමැතිවරයා දැනුවත් කර එම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන බව කීය.

කථානායකවරයා ඒ බව සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන්  නැගු  ප්‍රශ්නවලට පිළිතුරුදීම සඳහා විෂයභාර ඇමැතිවරු පිළිතුරුදීම සඳහා  සභාගැබේ නොසිටීම ගැන නොසතුට පළ කරමිනි.

කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී එස්. එම් මරිකාර් මහතා

මහජනතාවගේ ඡන්දයෙන් පත්වු නියෝජිතයින් හැටියට අපේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න ඇසීමට සිදුව තිබෙනවා. නැතිනම්  අපට අමාත්‍යංශ පාරෙන් ගිහින් දණගහගෙන සිටීමට සිදුව තිබෙනවා.  අප අසන මේ ප්‍රශ්නවලට  පිළිතුරු දෙන්න.නැත්නම්  එය ජනතාවගේ ඡන්දයට නිගරු කිරීමක්.

කළුතර දිස්ත්‍රික්  ජවිපෙ  මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

 මම අසල තියෙන ප්‍රශ්නය ඉතා පහසුවෙන් පිළිතුරු දිය හැකි එකක්.ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ නම,ලිපිනය සහ ඔහුගේ වැටුප් දීමනා කොමණද ආදී ප්‍රශ්න ටිකක් . මේකට පිළිතුරුදෙන්න සභාපතිතුමාගේ වැටුප් පත්‍රිකාව ගන්නත් පුළුවන්.

දිනේෂ් ගුණවර්ධන මහතා

 ස්ථාවර නියෝග අප අනුමත කර දුන්නා.මෙහිදී හැම අමාත්‍යංශයකටම උපදේශක කාරකසභාවල් අනුමත කළා.මේවා පටන්ගන්නේ කවදාද?

කතානායක කරුජයසුරිය මහතා

පුළුවන් තරම් ඉක්මනින් පටන්ගන්නවා.

දිනේෂ් ගුණවර්ධන මහතා

පුළුවන්තරම් ඉක්මනින් පටන් ගන්නවා කියන එක  ස්ථිර පිළිතුරක් නොවෙයි. දවස් 30ක් ඇතුලත මේවා පටන්ගත යුතුයි.

කතානායක කරුජයසුරිය මහතා

ඊට ඉස්සරවෙලා  පටන්ගන්නයි මම උත්සාහ කළේ

දිනේෂ් ගුණවර්ධන  මහතා

දවස් 30ක් ගියාම අවුරුදුනේ

කතානායක කරුජයසුරිය මහතා

දවස් 30ක් කියන්නේ අවුරුදු නෙවෙයි.දින 30ක් අවුරුද්දක් නෙවෙයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා

අපෙන් අහන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමටත් කාලයක් යනවා.හිතාමතාම පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.අපි පාර්ලිමේන්තුවට ඇවිත් ප්‍රශ්නවලට පිළිතුරුදීමට බැඳී සිටිනවා.

කතානායක කරුජයසුරිය මහතා

සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිමට මාස හය හතක් ගත කරනවා .අපි අමාත්‍යංශ උපදේශක කාරක සභා  අප්‍රේල් 1 වැනිදා සවස ගන්න ඉන්නේ.එහෙම බැරිවුණොත් 15 වැනිදා සවස ගන්නවා.