විෂක් ශරීරගත වී රුසියාවේ විපක්ෂ නායකයා රෝහලේ


විෂ වර්ගයක් ශරීරගතවීම හේතුවෙන් රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා සයිබීරියාවේ රෝහලකට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ නවාල්නි මහතා සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි.

සයිබීරියාවේ ටොම්ස්ක් සිට රුසියාවේ මොස්කව් අගනුවර බලා ගුවනින් ගමන් කරමින් සිටින අතරතුර නවාල්නි මහතා අසනීප වී ඇති අතර යානය ඔම්ස්ක් වෙත ගොඩබස්වා තිබේ.

"අපි හිතන්නේ ඇලෙක්සිගේ තේ සමග මිශ්‍ර වූ දෙයක් විෂ වී ඇති බවයි. අද උදේ ඔහු පානය කළ එකම දෙය එයයි" යැයි ඇලෙක්සිගේ ප්‍රකාශිකා කීරා යෂ්මිර් මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේදී ද නවාල්නි මහතා මෙවැනිම දරුණු ආසාත්මිකතාවයකට ගොදුරු විය. වෛද්‍යවරු පවසා සිටියේ එය යම්කිසි රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් ඇතිවූවක් බවයි.

නීති විශේෂඥයෙකු හා දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකු වන නවාල්නි මහතා 44 වැනි වියේ පසුවෙයි. ඔහු ක්‍රෙම්ලිනයට එරෙහි විරෝධතා සංවිධානය කිරීම හේතුවෙන් 2012 සහ 2014 වසරවල සිරගතව සිටියේය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)