(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ වගවත්ත කර්මාන්ත ශාලාවක් තුළදී අද (31) විෂ වායුවක් නිසා රෝහල් ගත කළ සේවකයන් තිදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය මධුරාගල පදිංචි ෂෙහාර අකලංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
අභ්‍යාස පොත් සහ ෆයිල් කවර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන මෙහි දින කිහිපයක සිට නිෂ්පාදන කටයුතු සිදු නොකරන අද එම ස්ථානය පිරිසිදු කරන අතරවාරයේදී මෙම අනතුරු සිදු වී ඇති බව සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩංගු කරන භූගත ටැංකි කර්මාන්ත ශාලාව තුළම පිහිටා ඇති අතර කලු ජලය අඩංගු භූගත ටැංකිය තුළදී විෂ වායුව අග්‍රාහණය වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය සේවකයා ඉනිමගක් ආධාරයෙන් ඒ තුළට බැස මෝටරයක් ආධාරයෙන් එම ටැංකිය තුළ තිබෙන කලු ජලය ඉවත් කිරීමට යාමේදී ඔහු සිහිසුන් වී ඒ තුළම වැටී ඇතැයි පොලිසිය කියයි.
එය දුටු අනෙක් සේවකයන් දෙදෙනා මියගිය සේවකයා බේරාගැනීම සඳහා භූගත වල තුළට ගිය අවස්ථාවේදී ඔවුන් දෙදෙනාද සිහිසුන් වී ඇති බව පොලිසිය කීය.
පසුව ආරක්ෂක ක්‍රමවේද භාවිතා කර සිහිසුන් වී සිටි සේවකයින් තිදෙනා ගොඩට ගෙන හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මුලින්ම භූගත ටැංකියට බැස්ස සේවකයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

