
(අංජුල මහික වීරරත්න)
අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සමාජය යථාවත් කිරීමට භික්ෂුවගේ උරුමය, යතිවර පරපුරේ කාර්යභාරය මේ සමාජයට යළි අවශ්‍ය බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (02) පස්වරුවේ පැවති ‘යෙළසිය අබිමන්’ සැමරුම් උළෙල අමතමිනි. බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1875 නොවැම්බර් 01වන දා ආරම්භ කරන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ එක් මූලස්ථානයකි.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කර මෙම වර්ෂයට වසර 150ක් සම්පූර්ණ වේ. මේ දීර්ඝ ඉතිහාසය තුළ විද්‍යාලංකාර පිරිවෙනින් රටට, ජාතියට, ආගමට, දහමට සහ භාෂා ශාස්ත්‍රාදියට සිදු වී ඇති සේවාව ඉමහත්ය. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය කේන්ද්‍ර කර ගත් ප්‍රාචීන පණ්ඩිත උපාධිය අරමුණු කර භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය අධ්‍යාපනය මෙමඟින් ලබා දෙන අතර වර්තමානයට අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමද සිදු කෙරෙයි.
විද්‍යාලංකාර පිරිවෙනේ නව වෙබ් අඩෙවිය විවෘත කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ‘යෙළසිය අබිමන්’ ශාස්ත්‍රීය සංග්‍රහය සහ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු, මැති ඇමැතිවරු, ප්‍රාදේශීය දේශපාලනඥයෝද, තානාපතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

