(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර තල්පාවිල වැව ඉහළගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි ආගන්තුක යුවළක් එහි සිටි වියපත් කාන්තාවකට විෂ එන්නතක් විද ඝාතනය කර, ඇය සමග සිටි අනෙක් කාන්තාවට රසායනික ද්‍රව්‍යයක් පොවා ඔවුන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කා පලා ගොස් ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙයියන්දර පදිංචි එච්. බී. කරුණාවතී නැමැති 73 හැවිරිදි අටදරු මවකි.
ඇය දැනට වසර කිහිපයක සිට සිය බාල පුතුගේ නිවසේ නැවතී සිටින අතර එම නිවසේම ඇයගේ ලේලියගේ මවද පදිංචිවී සිට ඇත.
නිවස හිමි අඹු සැමි යුවල රැකියාවට ගොස් සිටි අතරතුර වයස්ගත මව්වරුන් දෙදෙනා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
සිද්ධියෙන් පසු රෝහල්ගත කර සිටින කාන්තාව කළ ප්‍රකාශයට අනුව ආගන්තුක යුවළක් පැමිණ මෙම රන්මාල මංකොල්ල කා ඇති බව අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
මාතර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





