දිවයින පුරා සිටින වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත් කර ඇති අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක දී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට වෙලාවක් වෙන් කර ගත් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියයි.
වැඩ වර්ජනය හේතුවෙන් අද (5 වැනිදා) පෞද්ගලික වෛද්‍ය ආයතනවල සේවය නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනෙකුත් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති නමුත් එහි සභාපතිවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානකදී හමුවී ප්‍රතිකාර ගැනීමට අද වෙලාව වෙන්කරවාගත හැකිවූ බව ද රාමනායක මහතා පවසයි.
අද සවස 4.05ට පාදෙනිය මහතා හමුවීමට වෙලාව ලැබුණු බව ද, ඒ සඳහා ගාස්තු ලෙස රුපියල් 1925ක් තමා ගෙවු බව ද රාමනායක මහතා ප්‍රකාශ කරයි.
රංජන් රාමනායක මහතා අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීමට අවස්ථාව ලබාගෙන ඇත්තේ පෙරදින රාත්‍රියේය. මේ ගැන කළ විමසීමකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙලෙස ද කීවේය.
‘‘අද මම පෞද්ගලික රෝහල්වල වැඩ කරන්නේ නෑ. ඕනෑම කෙනකුට ඉදිරි කාලයේ මා හමුවෙන්න අවස්ථාවක් පෞද්ගලික රෝහලෙන් ගන්න පුළුවන්. මම එදාට යන්නේ නැතිනම් ඊට කලින් දවසේ දැනුම් දෙනවා. මම ඊයේ දැනුම් දුන්නා මම අද නොපැමිණෙන බව. නමුත් රෝහලෙන් එය ප්‍රසිද්ධ කර ඇත්තේ අද උදේ. දැන් ඒ රෝගීන්ට දැනුම් දීලා ඇති එන්නේ නැහැ කියලා‘‘
‘‘අනික මම සේවය කරන්නේ ළමා රෝහලේ. වැඩ වර්ජන වලදි ළමා රෝහල සම්බන්ධ වෙන්නේ නෑ. අදත් මම උදේ ළමා රෝහල් සායනයේ රෝගීන් 100ක් විතර පරීක්ෂා කළා. රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් පේන්නේ දේශපාලන උන්මන්තක බවයි. අනික මම කොහෙද යන්නේ කියන දෙයින් කාටවත් වැඩක් වේන්නේ නැහැනේ.‘‘

