විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 ක් අත්අඩංගුවට


 
(ඉන්දිකා රාමනායක)


උත්සව සමය ඉලක්ක කරගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයින සියලූ පොලිස්බල ප‍්‍රදේශ ආවරණ වන පරිදි පැය හතරක් පුරා සිදුකළ හදිසි විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථාන කියයි.

ඊයේ  (28) රාති‍්‍ර 11.00 සිට අද  (29) අලුයම 3.00 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබු අතර පොලිස් නිලධාරීන් 15139 දෙනෙක් ද, පොලිස් නිල සුනඛයින් 21 දෙනෙක් ද මේ සඳහා සහභාගි කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බීමතින් රියපැදවු පුද්ගලයින් 738 දෙනෙක් ද, සැකපිට අත්අඩංගුවට ගත් පිරිස 735 ක් ද,  වරෙන්තුකරුවන් 496 දෙනෙක් ද,  අපරාධ සඳහා අවශ්‍ය සැකකරුවන් 77 දෙනෙක් ද,  සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම මෙහෙයුමේ දී රථවාහන නඩු 4850 ක් ලබාගෙන ඇති අතර  නීති විරෝධී ගිනි අවි තුනක් ද පොලිස් බාරයට ගෙන තිබුණි.

හෙරොයින් ග‍්‍රෑම් 40 මිලි ග‍්‍රෑම්  12 ක්,  ගංජා  කිලෝ 2 යි  ග‍්‍රෑම් 826 ක්,   නීති විරෝධී මත්පැන්  ලීටර් 34319 යි මිලි ලීටර් 832 ක්,  වෙනත් මත්පැන්  ලීටර් 15921 ක්,  වෙනත් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 391 ක් ද  මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.