විශේෂ ඒකකයක් ඇති කිරීම කැබිනට් තීරණයක් - ඇමති විජිත් විජේමුණි


(විනීතා එම් ගමගේ)

උසස් පරමාර්ථ පෙරදැරි කරගෙන පත් කරගත් මේ රජයට වගකීම් වලින් කර අරින්න බැරිනිසා සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඒකකය බාර දුන් බවත් එදිනෙදා වැඩට යන මිනිස්සුන්ට දවස කාලකන්නි කරගන්න දෙන්න බැරි බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විජයමුණි ද සොයිසා මහතා එසේ පැවසීය. 

“රජය ශක්තිමත් විය යුතුයි..එසේ විශේෂ ඒකකයක් ඇති කිරීම කැබිනට් තීරණයක්. රටේ විනය පවත්වා ගෙන යාම සඳහා එවැන්නක් තිබිය යුතුයි“

“රාජ්‍යයට අභියෝග කරන  විට ඊට උත්තර දිය යුතුයි. එයයි කර ඇත්තේ. මේ රට සම්පූර්ණ අඩාල කරන්න යම් පිරිස් සිටිනවා නම් මේ රටේ විනයක් ඇති කරන්න මේ වගේ දේවල් කරන්න වෙනවා“ යයි ද පැවසීය. 
“හැබැයි මේ ඒකකය මර්දනයට නොවෙයි . ජන ජීවිතය යථාවත් කරන්නයි. ඔය ඉල්ලන්නේ මර්දනයයි. අපි මර්දනය  නම් දෙන්නේ නැහැ” යැයි ද අමාත්‍යවරයා කීය. 

විජයමුණි ද සොයිසා මහතාට පෙර මාධ්‍ය හමුව ඇමතූ යැයි සමාජ සවිබල තැන්වීම හා සමාජ සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා කීවේ ආරක්ෂාව සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා සරත් ෆොන්සේකා මහතාට බාර දෙන අදහස ඔහුට පෙනුනේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දි කළ විහිලුවක් ලෙස බවයි. 

“ඊට එහා දෙයක් මට  නම් දැනුනේ නැහැ. මම ඒක එච්චර ගණන් ගත්තෙත් නැහැ”  
“ජනාධිපතිතුමා මේ යෝජනාව ඉදිරිපත් කර අපේ කැමැත්ත ඇහුවා. එතකොට අපි හිනාවුණා.” යයිද එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.