විශේෂ ආරක්ෂාව බාර පොලිස් ප්‍රධානියාටත් මාරුවක්



 
(තරිදු ජයවර්ධන)

 
විශේෂ ආරක්ෂක දිසාව බාරව සිටි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  ඌව පළාත සහ මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

පුජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මුලින්ම සිටියේ එස් එම් වික්‍රමසිංහ මහතාය.

මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිට මේ දක්වා ජනාධිපති ආරක්ෂක අංශය බාරව තිබුණේ එස් එම් වික්‍රමසිංහ මහතාටය.

මේ අතර වයඹ හා උතුරුමැද වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ සහ උතුරුමැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද දකුණු සහ සබරගමු පළාතේ වැඩ ආවරණය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් එස් යු ප්‍රනාන්දු මහතා එම පළාත් දෙක බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද පත්කර තිබේ.

පොලිස් කොමිසන් සභාවේ සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය මත සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි  මෙම ස්ථානමාරු විම් කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර  මහතා විසින් නිකුත් කරනු  ලැබ ඇති විශේෂ පොලිස් පණිවුඩයේ සඳහන් වේ.

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් පොලිස්පතිවරයාට එරෙහිව පොලිස් කොමිසන් සභාවට කරුණු දක්වා ඇති අතර ස්ථාන මාරුවිම් සහ එම සිද්ධිය අතර සම්බන්ධයක් ඇත්දැයි කළ විමසිමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ එවැන්නක් නැති බවයි. සේවයේ අවශ්‍යතා මත පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මාරුවීම් කර  ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.