(ඩයනා උදයංගනී)
විශ්‍රාම ලැබූ සහ විශ්‍රාම ලැබීමට නියමිත ත්‍රිවිධ හමුදා සමාජිකයන් හා පොලිස් නිලධාරින් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් කෘෂිකර්ම හා ස්වයං රැකියා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (9) පැවැත්විණි.
මෙම වැඩසටහන තුළින් ඉදිරියේදි රට තුල කෘෂිකාර්මික නවෝදයක් ඇතිවන බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත ආරක්ෂක අමාත්‍යාශයේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම, බැංකු හා අපනයන සංවර්ධන යන අංශ ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි.
දැනට ආරම්භ කර ඇති මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේ වන විටත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තුන්සියයක් පමණ පේරාදෙණිය, මාතලේ, අගුණුකොලපැලැස්ස යන කෘෂිකර්ම මධ්‍යස්ථානවල විශේෂ පුහුණුවක් සඳහා යොමුකර සිටින බව කී විජයවර්ධන මහතා ඔවුන් විසින් දැනටත් අපනයන කෘෂී බෝග වගා ව්‍යාපෘති ආම්භ කර තිබෙන බව ද කීවේය.
මෙම වැඩ සටහන යටතේ ඉදිරියේදී බතලගොඩ, අනුරාධපුර, ලුණුවිල, ගන්නොරුව, කුණ්ඩසාලේ, මාකදුර, මාතලේ යන කෘෂි මධ්‍යස්ථාන වලදි තවත් විශේෂ වැඩමුලු රැසක් ආරම්භ කිරිමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා සම්බන්ධ වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට බැංකු ණය පහසුකම් ලබා දීමට නියමිත බව ද රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ අධීක්ෂනය යටතේ දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති මෙම කෘෂිකර්ම හා ස්වයං රැකියා විශේෂ වැඩ සටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලේකම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03 ලිපිනයෙන් ලබා ගත හැක.