විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක හා සහායිකාව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (05)නියෝග කළේය.

තිලකාවතී අබේසිංහ හා ප්‍රදීප් සමන්ත පෙරේරා යන සැකකරුවන් මෙසේ  බන්ධනාගාර ගත කළේය.

සැකකරුවන්  පෙරේදා දින අත්අඩංගුවට ගත් බවත් ,ලබාගත්  මුදල අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

පැමිණිලිකාර තැනැත්තිය මියගිය සැමියාගේ  විශ්‍රාම සහ පාරිතෝෂිත දීමනා ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත්,එහිදී කටයුතු කරදීමට රුපියල් 35000  මුදලක් ඉල්ලා ඇති සැකකරුවන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් තිස්දහස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව ද පැවසීය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ සේනාරත්න මහතා පෙනී සිටි අතර පළමු සැකකාරිය පැමිණිලිකාරියගේ සැමියාව  හොඳින් දන්නා කෙනෙකු බවත්,අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය. කෙසේ වෙතත් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීමක් නොකරන බවද නීතිඥවරයා පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.