විශ්‍රාම ගිය නාවික හමුදාපතිට උසස්වීමක්


(ඉන්දිකා රාමනායක)

ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් සේවය  කර අද(26) විශ‍්‍රාම ගිය වයිස් අද්මිරාල්  ට‍්‍රැවිස් සින්නයියා මහතා  අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ ඇතැයි නාවික හමුදාව කියයි.

පසුගිය  අගෝස්තු 20වැනිදා නාවික හමුදාපති ධුරයට පත් වු සින්නයියා මහතා පසුගිය සැත්තැම්බර් 26 වැනිදා වයස අවුරුදු 55 සම්පුර්ණ වීමෙන් පසු  ජනාධිපතිවරයා  ලබාදුන් සේවා දීර්ඝය මාසයකට සීමා වීම හේතුවෙන් 1973 වසරේ සිට  මේ දක්වා  පත් වු නාවික  හමුදාපතිවරුන්  10 දෙනා  අතුරින් අඩුම කාලයක් එම ධුරය දැරූ  නිලධාරියා වශයෙන්  ඉතිහාසයට එක්වනු ඇත.

වසර 35 ක නාවික හමුදා සේවා කාලයක් සපුරා ඇති  සින්නයියා මහතා සටන් සමයේ එල් ටී ටී ඊ යට  ආයුධ රැගෙන ආ පාවෙන අවි ගබඩා 10 ක්  විනාශ කළ  නාවික කාර්ය සාධක බලකායට නායකත්වය ලබාදුන් කාර්යක්ෂම නිලධාරියෙකි.

රණවිරුවකුට හිමි වන උසස්ම පදක්කම වන වීරවික‍්‍රම විශූෂණ පදක්කමෙන් පිදුම් ලැබීමටද ඒ මහතාට හැකියාව ලැබී ඇත.