විශ්වාසවන්ත අය පත්කර ගැනීමේ බලයක් මට තිබුණා


 

(*** මුදිතා දයානන්ද)

නීතිපොත්වල මොනවා තිබුණත් ගැටලු‍වක් මතුවන අවස්ථාවලදී විශ්වාසවන්ත අය පත්කර ගැනීමේ බලයක් ජනාධිපති ලෙස මට තිබුණා. ඉන්දියාවේ සිටි කෞටිල්‍ය කියලා තිබෙන්නෙත් තමන්ට විශ්වාස අය ළඟට ගන්න අවිශ්වාස අය ඈත් කරන්න කියලයි. ඒ නිසා මම අවිශ්වාසවන්ත අය ඉවත් කළා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශනය කොමිෂන් සභාව හමුවේ ඊයේ (24) පැවසීය.

ඔහු මෙසේ පැවසූයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙම කොමිසමේදී ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් මෙසේ හරස් ප්‍රශ්න විමසීය.

නීතිඥ - ඔබ හිටපු විධායක ජනාධිපති. ඒ වගේම හිටපු සේනාධිනායකයා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඔබට හොඳ දැනුමක් ඇති නේද?
සාක්ෂිකරු- සාමාන්‍ය දැනීමක් තිබෙනවා.

නීතිඥ - රාජ්‍ය ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයින් පිළිබඳව 1999 වසරේදී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ගැන ඔබ දන්නවා නේද? (එම ගැසට් නිවේදනයේ පිටපතක් හිටපු ජනාධිපතිවරයාට පෙන්වනු ලැබිණ)
සාක්ෂිකරු - ඔව් මම මේක කියවා තිබෙනවා.

නීතිඥ - අදාළ ගැසට් නිවේදනයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු නිලධාරීන් පිළිබඳව සඳහන් වී තිබෙනවා නේද?
සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - එම ලේඛනයට අනුව පොලිස්පති එහි නිත්‍ය සාමාජිකයෙක් නේද?
සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - එසේ තිබියදී 2018 වසරේ සිට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සිලයට පැමිණීම වැළැක්වූ බව පිළිගන්නවා ද?
සාක්ෂිකරු - ඔව්. මට මතක හැටියට 2018 දෙසැම්බර් සිට තමයි මම ඔහුව ගෙන්වීම නැවැත්තුවේ.

නීතිඥ - ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතු අනිවාර්ය සාමාජිකයන් එසේ නොකැඳවීම නීතියට පටහැනිව කටයුතු කිරීමක් නේද?
සාක්ෂිකරු - මම එය ප්‍රතික්ෂේප කරනවා. නීති පොතේ මොනවා තිබුණත් ඒ ඒ අවස්ථාවන් අනුව මට ක්‍රියා කරන්න වුණා. මට විශ්වාසවන්ත අයයි ආරක්ෂක කවුන්සිලයට කැඳවන්න ඕනෑ. මගේ විශ්වාසය කැඩුව නිසා පොලිස්පති නැතුව නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ව මම රැස්වීමට කැඳෙව්වා.

නීතිඥ -  ඒ කියන්නේ ඔබට නීතිමය ප්‍රතිපාදන වැඩක් නැහැ. ඔබගේ කැමැත්ත අනුව කටයුතු කළා. එහෙම නේද?
සාක්ෂිකරු - නැහැ එහෙම නීති රෙගුලාසි නොතැකුවා නෙවෙයි. ඒත් ජනපතිගෙ අභිමතය පරිදි විශ්වාසවන්ත නිලධාරීන් ගෙන්වන්න සිදු වුණා.

නීතිඥ -  මට පෙන්වන්න ජනාධිපතිගෙ අභිමතය අනුව කටයුතු කරන්න පුලු‍වන් කියල ඔය ගැසට් නිවේදනයේ කොහේ හරි තියෙනවා ද කියලා?
සාක්ෂිකරු -  ගැසට් නිවේදනයේ එහෙම සඳහන් නොවෙන්න පුළුවන්. නමුත් විනයක් හික්මීමක් ඇතුව ආයතනය පවත්වාගෙන යන්න නම් නියමුවාට අවශ්‍ය තීරණය ගන්න පුළුවන්.

නීතිඥ - රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබ සෑම අවස්ථාවකම බැඳී සිටිනවා නීතිගරුකව ධූරයේ කටයුතු කරන්න. ජනාධිපතිට කිසිම අවස්ථාවක රටේ නීතිය අභිබවා කටයුතු කරන්න හැකියාවක් නැහැ නේද?
සාක්ෂිකරු - කිසිසේත්ම එහෙම කරන්න හැකියාවක් නැහැ.

නීතිඥ - එසේ නම් රටේ ජනාධිපතිවරයා ලෙස පවතින නීතියට සහ ගැසට් නිවේදනවල අඩංගු විධිවිධාන අනුව කටයුතු කළ යුතුයි නේද?
සාක්ෂිකරු - මම ඒක පිළිගන්නවා.  

නීතිඥ - එහෙමනම් ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් ජයසුන්දර මහතා ඉවත් කිරීම හිතාමතාම නීතිමය ප්‍රතිපාදන පැහැර හැරීමක් නේද?
සාක්ෂිකරු - එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පති විතරක් නෙවෙයි මම අගමැති ඇතුලු‍ කැබිනට් මණ්ඩලයක්ම අයින් කළානේ.

නීතිඥ -  එය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නානේ.  
සාක්ෂිකරු - නීති පොතේ නැති ඒවා රාජ්‍ය පාලනයේදී සිදු කරන්න වෙනවා. ඉන්දියාවේ කෞටිල්‍ය පවා කියලා තියෙනවා විශ්වාසවන්ත කෙනා ළඟට ගන්න විශ්වාසයක් නැති කෙනා දුරස් කරන්න කියලා. ඒකටනේ රාජ්‍ය පාලනය කියන්නෙ. ඒ ඒ අවස්ථාව අනුව උපාය පාවිච්චි කරන්න ඕනෙ.

නීතිඥ - කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුවත් නීතියට පිටින් වැඩ කිරීම පිළිගන්නේ නැහැ නේද?
සාක්ෂිකරු - අවස්ථානුකූලව එසේ කටයුතු කරන්න සිදුවෙනවා.

නීතිඥ - ඒ කියන්නේ ඔබේ කාලයේ නීති රාමුවෙන් පිටට ගිහින් කටයුතු කිරීම අවස්ථානුකූලව යෝග්‍යයි කියන එක ද?
සාක්ෂිකරු - මම එහෙම කියන්නේ නැහැ. මම කටයුතු කළේ නීතියට අනුවයි.

නීතිඥ - ඔබතුමා යහපාලන ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව පමණක් සිතා කටයුතු කළ හෙයින් යම් යම් කරුණු පිළිබඳව අවධානය යොමු කර නොමැති බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු - මම එය ප්‍රතික්ෂේප කරනවා. මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ දින සිට මම යහපාලන ආණ්ඩුව පිළිබඳව සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එම සිද්ධිය වුණ වෙලාවෙ තමයි යහපාලන ආණ්ඩුවට හෙණ ගැහුවෙ. මම ඒ වෙලාවෙ හැදුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. නමුත් මට ඒකට බලතල තිබුණේ නැහැ

නීතිඥ - ජයසුන්දර මහතා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් 2017 හා 18 වසර වලදී ඔබට දැනුවත් කළා නේද?
සාක්ෂිකරු - ඔව්. ආරක්ෂක කවුන්සිලයේදී කළ දැනුවත් කිරීමක් හැර පෞද්ගලිකව දැනුවත් කිරීම් කර නැහැ.

නීතිඥ - ඔබට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඔබ හමුවට ගෙන්වා ඒ ගැන විස්තර කළේ නැද්ද?
සාක්ෂිකරු - ඔව් ඔහු ඇවිත් වතාවක් මට තොරතුරු කිව්වා.

නීතිඥ - ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් විවෘතව විමර්ශන කිරීමෙන් වළකින ලෙස ඔබ පොලිස්පති තුමාට උපදෙස් දුන්නා නේද?
සාක්ෂිකරු - එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - ඔබ අප්‍රේල් 16 විදෙස් ගත වුණා. ඒ යාමට පෙර කිසිම කෙනෙක් අප්‍රේල් හතර වැනිදා රාජ්‍ය බුද්ධි ප්‍රධානීට ලැබුණ බුද්ධි තොරතුර ගැන දැනුම් දුන්නේ නැද්ද?
සාක්ෂිකරු - නැහැ.

නීතිඥ - ඔබ පාස්කු ඉරුදින ප්‍රහාරය වන අවස්ථාවේ හිටියේ සිංගප්පූරුවේ රෝහලක කියලා කිව්වා. මම යෝජනා කරනවා ඔබ රෝහල් ගත වුණේ කවදාද?
සාක්ෂිකරු - විසිවැනිදා. විස්සයි විසිඑකයි දෙකේම මම හිටියේ රෝහලේ.

නීතිඥ - ඔබ විසිවැනිදා වෛද්‍යවරු හමුවුණේ නැහැ. විසිඑක උදේ තමයි හමුවුණේ. ඒකත් තානාපති කාර්යාලය හරහා තමයි සම්බන්ධ කරගත්තේ.
සාක්ෂිකරු - නැහැ. මම විස්ස තමයි රෝහල් ගත වුණේ. තානාපති කාර්යාලය හරහා තමයි වෛද්‍යවරු හමුවන්න දින යොදාගත්තේ. ඒ මම ලංකාවේ සිටියදීයි.

නීතිඥ - ඔබට පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන දැනුම් දුන්නේ එදින සිද්ධියෙන් පසුව ඔබේ ලේකම්වරයා නේද?
සාක්ෂිකරු - මුලින්ම මගේ පෞද්ගලික ආරක්ෂකයා ඒ බව කිව්වා. ඒ සමගම ලේකම් කතා කළා. ඉන්පසුව හෝ පෙර නිලන්තත් කතා කළා.

නීතිඥ - ඔබට මේ සිදුවීම වාර්තා වීමෙන් පසු ලංකාවට එයාලංකා ගුවන් සමාගමේ යානාවල ගමන් වාර තුනක් සිංගප්පූරුවේ සිට ලංකාවට යෙදී තිබුණා. ඔබ ඒ එකකින්වත් ආවේ නැහැ. ඔබ ආවේ සිංගප්පූරු සමාගමකට අයත් යානයකින් එදින මධ්‍යම රාත්‍රියෙයි.
සාක්ෂිකරු - මගේ වෛද්‍ය වාර්තාවල දැක්වෙනවා මට ලබාදුන් එන්නතක් ගැන. එය ලබාදී පැය විසිහතරක් ගතවනතුරු ඇඳටම වෙලා ඉන්න කියලයි උපදෙස් දී තිබුණේ. ඒ උපදෙස්වත් නොතකා තමයි මම එදින රාත්‍රියෙත් ආවේ.

නීතිඥ - ඔබට සිංගප්පූරු රජයෙන් ගුවන් යානයක් ලබාදී තිබුණා නේද ලංකාවට එන්න.
සාක්ෂිකරු - නැහැ. ඒක සම්පූර්ණ අසත්‍යයක්.

නීතිඥ - මේ ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ දැක්වෙන පරිදි ඔබ එම සභාවේ ලබාදුන් සාක්ෂියේදී පිළිගෙන තිබෙනවා එවැනි යානාවක් ලබාදුන් බවත් ඔබ එය ප්‍රතික්ෂේප කළ බවත්. එය බොරුවක් බවද ඔබ කියන්නේ?
සාක්ෂිකරු- එම කමිටුවේ ඉන්නේ මගේ විරුද්ධවාදීන්. ඇමතිකම් දුන්නේ නැහැ ආදී විවිධ හේතු මත මාත් එක්ක ප්‍රශ්න හදාගත් අය තමයි එහි හිටියේ. ඒ නිසා එම කමිටුවේ වාර්තාව මම පිළිගන්නේ නැහැ කියලා මම මීට පෙරත් මේ කොමිසමේදී කියලා තියෙනවා.

නීතිඥ - ඔබ ලංකාවට නැවත පැමිණි පසු පොලිස්පතිතුමා කැඳවා මෙහි වගකීම  භාරගන්න බැහැ. ඔබ මේක ‍බාරගන්න ඕන. භාර අරන් ඉල්ලා අස්වෙන්න. නැත්නම් පැන්ෂන් එකත් නැතුවයි ගෙදර යන්න වෙන්නේ කියලා තර්ජනය කළා නේද?
සාක්ෂිකරු - මම සම්පුර්ණයෙන්ම එය ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - ඔහු ඉල්ලා අස්නොවුණ නිසා නේද අනිවාර්ය නිවාඩු යැව්වේ.
සාක්ෂිකරු - මම එය ප්‍රතික්ෂේප කරනවා. එය සිදුකළේ මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී නීතිපති උපදෙස් අනුවයි. මගේ බලපෑමක් එයට තිබුණේ නැහැ.

නීතිඥ - ඔබ රටේ නායකයා, විධායක ජනාධිපති, සේනාධිනායකයා ලෙස මේ ප්‍රහාරය වළක්වාගන්න නොහැකි වීමේ වගකීම පෞද්ගලිකව හෝ සාමූහිකව භාරගන්නවාද?
සාක්ෂිකරු - මම එය භාරගන්නේ නැහැ. ලෝකයේ කිසිම රටක එලෙස සිදුවන ප්‍රහාරයන් සම්බන්ධයෙන් රටේ නායකයා වගකීම භාරගන්නේ නැහැ. මීට පෙර අපේ රටේ යුද්ධය පැවති කාලයේත් තැන තැන බෝම්බ විශාල ප්‍රමාණයක් පිපිරුණා. ඒ සම්බන්ධයෙන් ඒ කාලේ හිටපු ජනාධිපතිවරු වගකීම භාරගත්තේ නැහැ.

නීතිඥ - ඔබතුමා  විසින් යම් යම් තීරණ ගෙන තිබෙන්නේ ඉතාමත් බොළඳ හේතු මත පදනම්වයි කියලා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු - මම එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. බොළඳ වැඩ කරන කෙනෙක්ට ජනාධිපති ධූරයේ ඉන්න හැකියාවක් නැහැනේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබීමට අදාළ වෛද්‍ය වාර්තා ඔහුගේ නීතිඥවරයා මඟින් ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය. එම වාර්තා ලබාදෙන මෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළද කිසිදු සාක්ෂිකරුවෙකුගේ හෝ විත්තිකරුවෙකුගේ හෝ වෛද්‍ය වාර්තා වෙනත් කිසිම පාර්ශ්වයකට ලබාදීම නීත්‍යානුකූල නොවන බවට කොමිසම පැහැදිලි කළේය.
අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ශාන් ජයසූරිය මහතා හරස් ප්‍රශ්න විමසුවේය.

නීතිඥ - ඔබතුමා 2019 අප්‍රේල් 16 වැනිදා සිට විසිඑක්වැනිදා දක්වා විදෙස් සංචාරයක නිරත වුණා. ඔබ කිව්වේ එය ප්‍රතිකාර ලබාගැනීම සදහා කළ සංචාරයක් බවයි. එහිදී ඔබ මුලින්ම ගියේ ඉන්දියාවේ තිරුපති කෝවිලට.
සාක්ෂිකරු - ඔව්

නීතිඥ - තිරුපති කෝවිලට ඔබ මීට පෙර ගිහින් තිබුණාද?
සාක්ෂිකරු - අපොයි ඔව් මම වසරකට වතාවක් එහි යනවා. ඒක මගේ අධ්‍යාත්මික විශ්වාසයක් මත කරන දෙයක්.

නීතිඥ - ඔබ එහි සිට සිංගප්පූරු ගියේ කවද්ද?
සාක්ෂිකරු - දාහත්වැනිදා.

නීතිඥ - ඒ කියන්නේ ඔබ දාසය තිරුපති ගිහින් දාහත සිංගප්පූරුත් ගියා. මෙතනට විශාල බැතිමතුන් පිරිසක් එනවා. ඒක දුෂ්කර ගමනක්. එසේ තිබියදී ඔබ වැනි රෝගී තත්ත්වයක සිටි කෙනෙක් මේ ගමන දවසකින් අවසන් කළේ කොහොමද?
සාක්ෂිකරු - දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණින් මට ඇවිදින්න බැරි ලෙඩක් තිබුණේ නැහැ. මට බරපතළ අසනීපයක් නෙවෙයි තිබුණේ. වාර්ෂිකව කරන පරීක්ෂණ සිදුකරගෙන ප්‍රතිකාර ලබාගන්නයි මම ගියේ.

නීතිඥ - ඔබ එවැනි ප්‍රතිකාර ලබාගැනීමක් සිදුකර නැහැ. එය සම්පූර්ණ අසත්‍යයක්.
සාක්ෂිකරු - මම එය සම්පුර්ණයෙන්ම බැහැර කරනවා.

නීතිඥ - ඔබ සමග තව කවුද ගියේ?
සාක්ෂිකරු - මගේ බිරිඳ හා දරුවන්

නීතිඥ - දරුවන් කිව්වේ කවුද? තුන්දෙනාම ගියාද?
සාක්ෂිකරු - බිරිඳ ගියා, පුතා ගියා. දූලා දෙන්නාගෙන් කවුද ගියේ කවුද නොගියේ කියලා මට හරියට මතක නැහැ.

නීතිඥ - ඔබට හිටියේ මැරායින් බේස් හෝටලයේද මොන හෝටල්වලද කියලාත් මතක නැහැ කියලා කලින් සාක්ෂි ලබාදීමේදි කිව්වා.
සාක්ෂිකරු - මැරායින් බේස් හොටෙල් කියන්නේ අර කණු තුනක් උඩ නැවක් වගේ තියෙන හෝටලයද? අපෝ ඒකට යන්න මට නෙවෙයි අපේ රටේ කාටවත් පුළුවන්ද කියලා විශ්වාස කරන්න බැහැ. ඒක කැසිනෝ හෙම තියෙන මහා කෝටිපතියෝ යන තැනක්. අපිට ඒවායේ බිල් ගෙවන්න බැහැ. මම හිටියේ පොඩි හෝටලයක.

නීතිඥ - ඔබ වෛද්‍යවරු හමුවුණේ කවදාද?
සාක්ෂිකරු - මුලින්ම දහ අට වැනිදා තානාපතිනියත් මගේ පෞද්ගලික ආරක්ෂකත් සමග ගියා. එදා වෛද්‍යවරු හමුවී පරීක්ෂණවලට දින යොදාගත්තා. ඒ අනුව විසිවැනිදා රෝහලට ඇතුළත් වුණා.

නීතිඥ - ඔබ දහඅටවැනිදා වෛද්‍යවරු හමුවුණ බව ඔප්පු කරන්න ලියවිලි බිල්පත් මොනවා හෝ කොමිසමට ඉදිරිපත් කර තිබෙනවාද?
සාක්ෂිකරු - එදා මොනවත් ලියවිලි ලැබුණේ නැහැ. අපි වගේ ප්‍රභූවරුන්ට සියලු‍ ප්‍රතිකාර අවසන් වූ පසුවයි බිල් ගෙවන්නේ. ඒත් මම බිල් ළඟ තියාගෙන නැහැ. මට එහෙම තියාගන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

නීතිඥ - ඔබ දහඅටවැනිදා වෛද්‍යවරුන් හමුවන්න ගිය බවට කරන ප්‍රකාශයත් සම්පූර්ණ අසත්‍යයක්.
සාක්ෂිකරු - ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා.

එහිදී කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍ය වාර්තා සහිත ගොනුවේ දහඅටවැනිදා වෛද්‍යවරු හමුවූ බවට ලියවිල්ලක් ඇති බවය. එසේම තමන්ගේ සේවාදායකයාට අදාළව හරස් ප්‍රශ්න විමසීමේදී සැළකිලිමත් වන ලෙසද ඔහු නීතිඥවරයාට අවවාද කළේය.